සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 34

අජීව වස්තුව

නා. පණ නැති දෙය; අජීව ද්‍රව්‍යය; අචේතනික දෙය.

අජීවඅංශු

නා.ප්‍ර. වායුගෝලයේ පාවෙන දූවිල්ලෙහි අඩංගු වන (කාබන්, වූල්, කපු ආදි) ජීවයක් නැති ඝන ද්‍රව්‍යවල ඉතා සියුම් කැබලි.

අජීවෝත්පන්න

[අජීව + උත්පන්න]
(පාරිභා.) වි. (කුස තුළ) මිය ගොස් බිහිවුණු; ප්‍රාණය නිරුද්ධ ව උපන් (=stillborn).

අජූත

නා.ප්‍ර. කඩදාසි කුට්ටමෙන් කරන තරග ක්‍රීඩාවක්; දූ කෙළියක්.

අජූව

වි. විරූපී; හැඩයක් නැති.

අජෙය්‍ය

වි. පැරදවිය නොහැකි.

අජෝඩුව

1. (කථා.) නා. නොගැළපෙන, නොපෑහෙන ස්වභාවය.
2. නා. අඩුපාඩුව.
3. නා. බාධාව.
4. නා. අත් වැරැද්ද.
5. නා. අමාරුව; හිරිහැරය.
6. නා. බලාපොරොත්තු කඩ වීම.

අඤ්ජනම

නා.අංජනම.

අඤ්ජනම්දේවි

නා.ප්‍ර. අංජනම් දේවි.

අඤ්ජලි කරණය

නා. අංජලි කරණය.

අඤ්ජලි පුටය

නා. අංජලි පුටය.

අඤ්ඤ

වි. වෙනත්; අනෙක්; පිටස්තර.
1. නා.ප්‍ර. වෙනත් දෙය; අන්‍යය; අනෙක.
2. නා.ප්‍ර. අර්හත් බව.
3. නා.ප්‍ර. අණ; ආඥාව.

අඤ්ඤ වාදකයා

නා. (විනය.) (සංඝයා මැද) යමක් ඇසූ කල ඊට පිළිතුරු නො දී වෙනත් දෙයක් කථා කරන්නා.

අඤ්ඤතර

වි. කිසියම්; එක්තරා; නම් ආදි වශයෙන් අප්‍රකට.

අඤ්ඤදත්ථුහරයා

නා. කිසියම් ලාභයක් බලාපොරොත්තුවෙන් මිතුරුකම් පවත්වන්නා.

අඤ්ඤභාගී

වි. අනෙක් පක්ෂයක් ආශ්‍රිත වූ; අනෙකක් භජනය කරන්නා වූ.

අඤ්ඤමඤ්ඤපච්චය

නා.ප්‍ර. (අභි.) අන්‍යෝන්‍යයන්ගේ උත්පත්තියටත් පැවැත්මටත් උපකාර ධර්මතාව; අන්‍යෝන්‍ය ප්‍රත්‍යය.

අඤ්ඤමඤ්ඤය

1. නා. ඔවුනොවුන් පිළිබඳ දෙය; අන්‍යෝන්‍ය වූව; එකිනෙකට සම්බන්ධ වූව.
2. (කථා.) නා. එකිනෙකා පිළිබඳ තොරතුරු; ඕපාදූප.

අඥයා

නා. නොදන්නා තැනැත්තා; අනුවණයා; මෝඩයා.

අඥාත රාශිය

(පාරිභා.) නා. (වීජ ගණිතයේ දී) අගය නිර්ණය නොකරන ලද රාශි (= unknown quantity).

අඥාතය

(පාරිභා.) නා. නොදන්නා දෙය; අප්‍රකට සාධකය (=unknown).

අඥාතයා

නා. නොදන්නා තැනැත්තා; අවබෝධ නොකළ පුද්ගලයා.

අඥාන වාදය

නා. බුද්ධ කාලීන භාරතයේ පැවති මිථ්‍යා දෘෂ්ටි සතරින් එකක්.

අඥාන විජෘම්භණය

නා. අනුවණකම පළ කිරීම; මෝඩකම ප්‍රකට කිරීම.