සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 33

අජ්ඣායක

1. නා.ප්‍ර. උගන්වන්නා; ගුරුවරයා.
2. නා.ප්‍ර. ශිෂ්‍යයා.

අජ්ඣාසය

නා. අදහස; අභිප්‍රාය; අධ්‍යාශය.

අජ්ඣේසනය

නා. ඉල්ලා සිටීම ආරාධනය; ආයාචනය.

අජ්ඣෝකාසය

නා. එළිමහන් තැන; නිරාවරණය වූ ප්‍රදේශය.

අජ්ඣෝත්ථරණය

නා. වසා ගෙන පැතිරීම; යට කිරීම.

අජ්ඣෝසිත

වි. තෘෂ්ණාවෙන් ඇලුණු; තෘෂ්ණාවෙහි ගිලී සිටි.

අජ්ඣෝහරණ

වි. අනුභව කරන; ගිලින.
නා.ප්‍ර. ආහාර ගැනීම; අනුභව කිරීම.

අජ්වලිත

වි. නොදැල්වුණු; බැබළීමක් නැති.

අජාංගුල

වි. කැලයෙහි වාසය නොකරන; වනචාරී නොවූ; හීලෑ.

අජාත

වි. නොඉපදුණු; නූපන්; පහළ නොවූ.
නා.ප්‍ර. නිවන; නිර්වාණය.

අජාත බුද්ධි

වි. (නූපන් බුද්ධියෙන් යුතු යනු වාච්‍යාර්ථයි) බුද්ධිය මෝරා නැති; කාරණාකාරණ නොවැටහෙන.

අජාතයා

නා. නොඉපදුණු තැනැත්තා; නූපන් පුද්ගලයා.

අජාති

නා. නොපිළිසිඳෙන; නූපදින.

අජානීය

වි. උසස් වර්ගයෙහි උපන්; ශ්‍රේෂ්ඨ ජන්ම ඇති.

අජායාංගි

(පාරිභා.) වි. ජයාංගය නොපිහිටීමේ අසාමාන්‍ය ලක්ෂණය ඇති (= agynous).

අජිත

වි. පරාජය නොකරන ලද; නොපැරදුණු; අපරාජිත.

අජිතය

නා. ජය නොලැබූ කාලය; පරාජිත යුගය.

අජිනමෘග

නා.ප්‍ර. කළු පැහැති මුව විශේෂයක්; අඳුන් දිවියා.

අජිහ්ව

(පාරිභා.) වි. දිවක් නැති (=aglossate).

අජීරණය

1. නා. කෑම නොදිරවීම; ආහාර නොපැසවීමෙන් හටගන්නා රෝගය; ආමය.
2. නා. නොදිරවන ලද කෑම; ආමාශයෙහි නොපැසවන ලද ආහාරය.

අජීව

වි. ජීවයෙන් තොර; අප්‍රාණී.
1. නා.ප්‍ර. ජෛන ධර්මයෙහි සඳහන් මූලික වස්තුව හෙවත් ‘තත්ත්ව හතෙන්’ එකක්.
2. නා.ප්‍ර. අවලක්ෂණ; විරූපී; අශෝභන.

අජීව උපත

(පාරිභා.) නා. (කුස තුළදී) මිය ගිය දරුවකුගේ උත්පත්තිය; මළ දරු උපත (= still birth).

අජීව ජනනය

(පාරිභා.) නා. අජීව ද්‍රව්‍යවලින් ජීව ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම හෝ ජීවීන් ඉපිදවීම (=abiogenesis).

අජීව ලෝකය

නා. පණ නැතැයි සැලකෙන වස්තූන් පිළිබඳ ලොව; අජීව වස්තු සමූහය; ගල් පර්වත ආදි අප්‍රාණික දේ.