සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 36

අට නෙත

නා. (අභි.) නෙත් අටක් ඇත්තා; මහා බ්‍රහ්මයා.

අට පහ

1. නා. අට වැදෑරුම් ශික්ෂාපද සහ පස් වැදෑරුම් ශික්ෂාපද; අටසිල් හා පන්සිල්.
2. (කථා.) (රූඪි.) නා. වරද නිවරද; හොඳ නරක; ඇත්ත යුක්ත.

අට පැන්

නා.ප්‍ර. භික්ෂූන්ට විකාලයෙහි දී වැළඳිය හැකි පාන වර්ග අට; අටවිධ පාන; අෂ්ට පානය.

අට පිරිකර

නා. භික්ෂූන්ට අවශ්‍ය, එනිසා භික්ෂූන් විසින් පරිභෝග කිරීමට සුදුසු අඳනය, තනිපට සිවුර, දෙ පට සිවුර, පාත්‍රය, පටිය, දැලිපිහිය, ඉදිකටුව සහ පෙරහන්කඩය යන පිරිකර අට; අෂ්ට පරිෂ්කාරය.

අට මගල

1. නා. මංගල සම්මත වස්තු අට; සිංහයා, වෘෂභයා, හස්තියා, පූර්ණ ඝටය, වල්විදුනාව, ධ්වජය, ශංඛය, ප්‍රදීපය යන අට; ඒ මංගල ලකුණු යෙදූ කොන් අටකින් යුත් රේඛා සටහන.
2. නා. බලිතොවිල් වල දී ආතුරයා ළඟ තැබීමට ගන්නා තොලබෝ, හීරැස්ස, සහල්පත, පොල්ගෙඩිය, දිවිහිස හෝ දිවිකදුරු ලීය, කැත්ත, මල්ල, මෝල්ගහ යන ද්‍රව්‍ය අට.
3. (රූඪි.) නා. පිළිවෙළකට නැතිව සෑදූ මඩුවක් හෝ එවැනි යම් ඉදිකිරීමක්.

අට මඟ

නා. කොටස් අටකින් යුක්ත මාර්ගය; ආර්ය අෂ්ටාංගික මාර්ගය.

අට මහ කුසලය

නා. කඨින දානය, අටපිරිකර දානය, ආවාස දානය, බුදු පාමොක් සඟනට දන්දීම, බණ පොත් ලියවීම, කෙත් වතු, බුදු පිළිම කරවීම, වැසිකිළි කරවීම යන පුණ්‍ය ක්‍රියා අට.

අට යොන්

නා.ප්‍ර. පද්‍යාරම්භයෙහි ද නාමයක උභය පාර්ශ්වයෙහි ද යොදන ඒ ඒ වර්ණ පිළිබඳ ශත්‍රැමිත්‍ර යෝනි අට; නකුල, මියු, මහවත්, වග, සපු, තුරඟ, බිලිපුටු, සරඟ යන අෂ්ට යෝනිය.

අට ලෝ දහම

නා. මනුෂ්‍යයා කරා පැමිණෙන ලාභ අලාභ, යස අයස, නින්දා ප්‍රශංසා, සුඛ සහ දුක්ඛ යන අට වැදෑරුම් ලෝක ධර්මය; අෂ්ට ලෝක ධර්මය.

අට වරල

1. (කථා.) නා. ඇලෙන සුලු තද මැට්ට.
2. නා. ඇලෙන මැටි සහිත කුඹුර; ලිස්සන මඩ ඇති කුඹුර.

අට විදු

නා. අෂ්ට විද්‍යාව; අෂ්ට විධ ඥානය.

අට විධ පාන

නා. විකාලයේ දීත් පැවිද්දන්ට කැප අඹ, දඹ, සියදෑ මිදි, මස් කෙසෙල්, ඇට කෙසෙල්, මිදි, ඕලු, බොරලුදමුන් යන පාන වර්ග අට.

අට වියැට

නා. වී ඇට අටක බර ප්‍රමාණය; මදටියක බර.

අට සක

නා. ඇස් අටක් ඇත්තා; මහා බ්‍රහ්මයා.

අටං පහුර

1. (කථා.) නා. හදිසියෙන් කඩාවැටිය හැකි තරම් දුබල මැස්ස.
2. නා. තේරුම් ගත නොහැකි අවුල; ආකූලව්‍යාකූල වූ දෙය.

අටඅකණ

නා.ප්‍ර. පින් කිරීමට ඉඩ නොලැබෙන නපුරු කාල අට; අෂ්ට දුෂ්ටක්ෂණය.

අටක්

[අට + අක්]
නා.ප්‍ර. ඇස් අටක් ඇති තැනැත්තා; මහා බ්‍රහ්මයා.

අටඟ

නා. අංග හෙවත් අවයව අට; කොටස් අට.

අටඟ බඹගොස

නා. බුදුරජුන් දම් දෙසන කල නික්මෙන අෂ්ටාංග බ්‍රහ්ම ස්වරය.

අටඟ මඟ

නා. ආර්ය අෂ්ටාංගික මාර්ගය.

අටඟ මිණ

නා. වක් අටකින් යුත් මිණි රුවන; සක් දෙවිඳුන් විසින් කුස රජු ගෙලෙහි පලඳවන ලදැයි කියන මාණික්‍යය; අෂ්ටවංක මාණික්‍යය.

අටඟි

වි. අංග අටකින් යුත්; කොටස් අටකින් සමන්විත.

අටඟුල

[අට + අඟුල]
නා. අඟල් අට.

අටටය

1. නා. පුරාණ ව්‍යවහාරයෙහි පැවති විශාල සංඛ්‍යාවක්.
2. නා. නිරයක නාමය; අටට නරකය.