සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 445

ක්ෂීරාර්ණවය

නා. කිරි මුහුද; කිරි සයුර; ක්ෂීර සාගරය.

ක්ෂීරාහාර

නා.ප්‍ර. කිරි බවට පත් වන ආහාර වර්ග.

ක්ෂුණ්ණ

1. වි. සුනු කළ; කුඩු කරන ලද.
2. වි. පුරුදු කරන ලද; අභ්‍යාස කරන ලද.

ක්ෂුත

1. නා.ප්‍ර. කිඹුහුම් යෑම; කිවිසීම.
2. නා.ප්‍ර. හෙම්බිරිස්සාව; ප්‍රතිශ්‍යා රෝගය.

ක්ෂුත් පිපාසය

නා. බඩගින්න සහ පිපාසය; සා පවස.

ක්ෂුද්‍ර

1. වි. පියවි ඇසට නොපෙනෙන තරම් කුඩා; ඉතා කුඩා; සියුම්; අල්ප; සුළු; ස්වල්ප.
2. වි. පහත්; නීච; හීන.

ක්ෂුද්‍ර කෝණය

නා. සෘජුකෝණයකට වඩා කුඩා වූ කෝණය; අංශක 90 කට වඩා කුඩා සුළු කෝණය.

ක්ෂුද්‍ර ග්‍රහයා

නා. (පාරිභා.) අඟහරු ග්‍රහයාත් බ්‍රහස්පති ග්‍රහයාත් අතර අභ්‍යවකාශයේ දක්නට ලැබෙන කුඩා ග්‍රහයන් වැනි ආකාශ වස්තුවලින් එකක් (=asteroid).

ක්ෂුද්‍ර ජීවියා

(පාරිභා.) නා. පියවි ඇසට නොපෙනෙන ඉතාමත් කුඩා ප්‍රාණියා.

ක්ෂුද්‍ර ධමනී

(පාරිභා.) නා.ප්‍ර. ඉතා කුඩා රුධිරවාහිනී නාල.

ක්ෂුද්‍ර ප්‍රාණියා

(පාරිභා.) නා. පියවි ඇසින් යන්තමට බැලිය හැක්කා වූ ද සත්ත්ව පරිණාමක ශ්‍රේණියේ තරමක් ඉහළින් සිටිනා වූ ද බහු සෛලික ජීවියා.

ක්ෂුද්‍ර බීජය

නා. ප්‍රජනක ශක්තියෙන් යුතු නමුත් අලිංගික වූ ඒක සෛලික බීජය; බීජාණුව.

ක්ෂුද්‍ර බීජාණු

නා.ප්‍ර. ශාකයක බීජ ඉපදවීම සඳහා අවශ්‍ය ඉතා සියුම් බීජාණු; පරාග.

ක්ෂුද්‍ර බීජාණුධානිය

නා. මලක පරාග තැන්පත් ව තිබෙන ඉතා කුඩා කෝෂය; පරාග කෝෂය.

ක්ෂුද්‍ර විකෘතිය

(පාරිභා.) නා. සතුන්ගේ පාරම්පරික ස්වරූප ආදියෙහි වන සියුම් වෙනස් වීම්.

ක්ෂුද්‍ර විශ්ලේෂණය

(පාරිභා.) නා. යම් කිසිවක් ගුණාත්මක හා ප්‍රමාණාත්මක වශයෙන් සියුම් ලෙස විග්‍රහ කිරීමේ විශේෂ තාක්ෂණික ක්‍රමය.

ක්ෂුද්‍රක

වි. කුඩා; සියුම්.
1. නා.ප්‍ර. ඇදුම රෝග විශේෂයක්.
2. නා.ප්‍ර. කුඩා මිම්මක්.

ක්ෂුද්‍රජානය

(පාරිභා.) නා. සත්ත්වයන්ගේ හා ශාකවල ප්‍රවේණි ලක්ෂණ පරම්පරාවෙන් පරම්පරාවට ගෙන යෑමට හේතු වන ඉතා කුඩා අණුව.

ක්ෂුද්‍රජීවය

(පාරිභා.) නා. ඇසට නොපෙනෙන තරම් ඉතා කුඩා ජීවියකුගේ ප්‍රාණය හෙවත් ජීව ශක්තිය.

ක්ෂුද්‍රභක්ෂක

(පාරිභා.) වි. ඉතා කුඩා සතුන් ආහාරයට ගෙන ජීවත් වන.

ක්ෂුද්‍රයා

නා. පහත් තැනැත්තා; නීච පුද්ගලයා.

ක්ෂුද්‍රාගමය

නා. සූත්‍ර පිටකයට අයත් නිකාය පහෙන් පස්වැන්න; බුද්දක නිකාය.

ක්ෂුද්‍රාන්ත්‍රය

නා. ආමාශයේ සිට මහබඩවැල දක්වා ආහාර ගමන් ගන්නා නළය; කුඩා බඩවැල.

ක්ෂුධාගින්න

නා. බඩගින්න; කුසගින්න.