සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 444

ක්ෂිපිත

වි. දුරු කරන ලද; ඉවත් කරන ලද.

ක්ෂීණ

1. වි. ගෙවුණු; ගෙවී ගිය.
2. වි. කෙට්ටු; කෘශ; ක්ෂය වූ.
3. වි. අඩු; අල්ප; හීන.
4. වි. නැසූ; ක්ෂය කළා වූ.

ක්ෂීණ චන්ද්‍රයා

නා. අඩ සඳට වඩා අඩු සඳ.

ක්ෂීණනය

නා. සංඛ්‍යාවෙන් අඩුබවට පත් වීම; හීන වීම; අඩු වීම.

ක්ෂීණයා

නා. කෙට්ටු; සිහින් ශරීර ඇත්තා; කෘශ පුද්ගලයා.

ක්ෂීණවර්තී

වි. අඩු වී ගෙන යන්නා වූ; ක්ෂය භාවයට පත් වෙමින් තිබෙන.

ක්ෂීණායුෂ්ක

වි. ගෙවී ගිය ආයුෂ ඇති; මරණයට ළං වී සිටින; ආයු පිරිහුණු.

ක්ෂීණාර්තවය

නා. නිසි කලට ඔසප් වීම සිදු නොවී අස්වාභාවික ලෙස නතර වීම; නොකලට ඔසප් නැවතීම.

ක්ෂීණාශ්‍රවයා

නා. කෙලෙසුන් නසා අර්හත් ඵලයට පැමිණි උතුමා.

ක්ෂීර පථය

නා. හිර සඳ තාරකා ආදි ආකාශ වස්තු ඇතුළත් මහා තාරකාවලිය; චක්‍රවාටය.

ක්ෂීර සාගරය

නා. මහාමේරු පර්වතයෙහි පූර්ව දිශාවෙහි ඇතැයි කියනු ලබන සුදු ජලයෙන් පිරුණු මුහුද; කිරිමුහුද; කිරිසයුර; ක්ෂීරාර්ණවය.

ක්ෂීරණය

1. (පාරිභා.) නා. වැසි ජලයෙන් කොටසක් පස් අතරින් යටට ගිලා බැසීමේ දී උඩු පසේ ඇති ඛණිජ ලවණ ආදිය දිය වී යටි පසට කිඳා බැසීම.
2. නා. ස්තන ග්‍රන්ථිවල කිරි හටගැනීම.

ක්ෂීරදන්ත

නා.ප්‍ර. කිරිදත්.

ක්ෂීරද්වාරය

(පාරිභා.) නා. ගවදෙනකගේ කිරි බුරුල්ලේ සිට ලේ ගෙන යන ශිරා යටිබඩට සම්බන්ධ වන නැත (=milk well).

ක්ෂීරදායිකාව

නා. කිරි දෙන තැනැත්තිය; කිරි මව.

ක්ෂීරධර

(පාරිභා.) වි. කිරි දරන; කිරි අඩංගු; ක්ෂීරවාහී.

ක්ෂීරධාරාව

නා. වැල නොකැඩී වැටෙන කිරි දහර; කිරි පාර.

ක්ෂීරපායාසය

නා. කිරෙන් පිසන ලද බත; කිරිබත.

ක්ෂීරපායි

වි. කිරි බොන; මවගෙන් කිරි උරා බී වැඩෙන; කිරෙන් පෝෂණය වන.

ක්ෂීරපායියා

නා. දරුවන් හෝ පැටවුන් ප්‍රසූත කිරීමත් ඒ දරුවන් මවගෙන් කිරි බී වැඩීමත් ප්‍රධාන ලක්ෂණ කොට ඇති පෘෂ්ඨවංශික ගණයට අයත් සත්ත්වයා; මවුකිරි බී වැඩෙන්නා.

ක්ෂීරමානය

(පාරිභා.) නා. කිරිවල විශිෂ්ට ගුරුත්වය මැනීම සඳහා පාවිච්චි කරන උපකරණය.

ක්ෂීරය

1. නා. පැටවුන් පෝෂණය කිරීම සඳහා ක්ෂීරපායී ගණයට අයත් ගැහැනු සතුන් ගේ ස්තන ග්‍රන්ථිවලට එරෙන සුදු පැහැති ද්‍රවය.
2. නා. ඇතැම් ශාකවල පොත්තෙහි ඇති සුදු පාට ඇලෙනසුලු ද්‍රවය.

ක්ෂීරාන්විත

වි. කිරෙන් පෝෂණය වන; කිරි බීමෙන් ජීවත් වන.

ක්ෂීරාම්ලය

නා. කිරිවල අඩංගු වී ඇති ඇඹුල් වර්ගය; ලැක්ටික් අම්ලය.