සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 489

කුපත

(කථා.) නා. (ධීව.) මුහුදේ දිය මතුපිටට නෙරා හෝ දිය යට ගිලී හෝ තිබෙන ගල්පරය.

කුපථ

නා.ප්‍ර. යෑමට අමාරු පාර; දුෂ්කර මඟ.

කුප්පනවා

1. ක්‍රි. කෝප හෝ කුපිත කරනවා.
2. ක්‍රි. ස්වාභාවික තත්ත්වය වෙනස් කරනවා; කලබල කරනවා.

කුප්පනේරුවා

(කථා.) නා. ඉඩම් පාරවල් ආදිය මනින තැනැත්තා; මිනින්දෝරුවා.

කුප්පායම

1. නා. සන්නාහයක් වශයෙන් අඳින කබායක්; යුද්ධ හැට්ටය.
2. නා. රොඩී පැල්පත
3. නා. රොඩී ගම.

කුප්පි ලාම්පුව

නා. බෝතල් කුප්පියකට පහන් වැටියක් යොදා සාදාගන්නා ලාම්පුව; ලාම්පු කුප්පිය.

කුප්පිඩුවා

(කථා.) නා. නින්දිත පුරුෂයා; අවලමා.

කුප්පිය

1. නා. (ගවයන් ගේ අංවලට දමන) කොපුව; විල්ල.
2. නා. කුඩා බෝතලය; බෝතල පිංච.
3. (කථා.) නා. පිපෙන්නට පෙර මල් කැකුළ සැඟවී ඇති කොපුව; මල් කැකුළ; මොට්ටුව.
4. (කථා.) නා. කුප්පි ලාම්පුව.

කුප්‍රකට

වි. නරක දෙයට ප්‍රසිද්ධ.

කුපාඩම

1. නා. නොහික්මුණුකම; හිතුවක්කාරකම; බලහත්කාරකම.
2. නා. පාඩම් නැතිකම; දුර්මුඛ භාවය.

කුපාඩි

වි. නින්දිත; නොහික්මුණ; සල්ලාල; අශීලාචාර.

කුපිත

වි. කෝපයට පත් වූ; කිපුණු; ඇවිස්සුණු.

කුපුරිස

නා. අවමාන, ගැරහුම ආදිය ලත් තැනැත්තා; අසත්පුරුෂයා.

කුපෝෂණය

නා. මන්දපෝෂණය (=malnutrition).

කුබහ

(කථා.) නා. වතුර බැස යෑම සඳහා කුඹුරක නියර යටින් තබන පැළූ කිතුල් කඳන් ආදිය.

කුබ්ජ

වි. පිටින් නැමුණු; කුදු.
නා.ප්‍ර. අංග හීන වූ ගෙය.

කුබුද්ධි

වි. නොමනා හෙවත් පහත් බුද්ධිය ඇති; මන්ද බුද්ධික වූ.

කුබුල් දෙනවා

ක්‍රි. නලියනවා; දඟලනවා.

කුබුස්සනවා

(කථා.) ක්‍රි. (කටට වතුර ගෙන කලතමින්) කට සෝදනවා.

කුමංජල

නා. ලාටු විශේෂයකින් සාදා ගන්නා ධූපයක්; කට්ටකුමංජල්.

කුමති

නා.ප්‍ර. වැරදි මතය; දුර්මතය; මිථ්‍යාදෘෂ්ටික අදහස.

කුමතේරු

(කථා.) නා.ප්‍ර. තක්සේරුව; වටිනාකම.

කුමදිරි

නා.ප්‍ර. (ක්‍රිස්ති.) දරුවකු ප්‍රසාද ස්නානය කරනු ලබන අවස්ථාවේ දී ඔහුගේ ආගමික අධ්‍යාපනය ආදිය භාර ව කටයුතු කිරීමට කැප වන තැනැත්තිය; ඥාන මව; මඤ්ඤා.

කුමන්ත්‍රණය

නා. පුද්ගලයෙකුට හෝ ආයතනයකට නපුරක් කරනු සඳහා රහසේ කතා කිරීම; නීතිවිරෝධි වැඩක් සඳහා කරනු ලබන රහස් සාකච්ඡාව.

කුමරි

1. නා.ප්‍ර. කන්‍යාව; වැඩිවියට නොපැමිණි දැරිය; විවාපත් නොවූ ස්ත්‍රිය.
2. නා.ප්‍ර. තරුණිය.
3. නා.ප්‍ර. ක්ෂත්‍රිය ආදි උසස් කුලයකට අයත් දැරිය.