සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 545

ගජකුල

නා.ප්‍ර. ඇත් රැළ; හස්ති සමූහය.

ගජකේසර

නා.ප්‍ර. කුජ ග්‍රහයා සතර කේන්ද්‍රයන් එකක මේෂ රාශියෙහි ස්වක්ෂේත්‍ර වීමෙන් සෑදෙන ශුභඵල ගෙන දෙන යෝගය.

ගජගල

නා. කුරුණෑගල පිහිටි ඇතුගල.
වි. ඇතුන් විසින් ගිලින ලද.

ගජගා

නා.ප්‍ර. ඇතුගේ ගමන් ලීලාව පෙන්වන සිංහල වන්නමක්.

ගජගාමී

වි. ඇතකුගේ ගමනට සමාන ගමන් විලාස ඇති; ඇත් ගමනින් යන.
නා.ප්‍ර. සිංහල ගී වෘත්තයක නාමය; ගජගැමි විරිත.

ගජතා

1. නා. ඇතා; හස්තියා.
2. (රූඪි.) නා. හපනා; ශූරයා.

ගජදන්තය

නා. ඇතාගේ මුවින් පිටට දික් වී තිබෙන දළය; ඇත්දළය.

ගජදන්තයා

නා. ඇත්දළ බඳු පිටට නෙරූ දළ ඇත්තා; ගණදෙවි.

ගජදළ

නා.ප්‍ර. ඇත්දළ.

ගජදළ’සන

නා. ඇත් දළින් නිමවන ලද හෝ ඇත් දළ කැටයමින් අලංකාර වූ ආසනය.

ගජනවා

ක්‍රි. මහත් වූ හඬක් නඟනවා; ගර්ජනය කරනවා; ගොරවනවා; රැව් නගනවා.

ගජන් මළුව

නා. ඇත් පවුරින් වට වූ මළුව.

ගජන්වත

නා. ඇත් මුහුණකට සමාන මුහුණක් ඇත්තා; ගණදෙවි.

ගජනායක නිලමේ

නා. රාජකීය අලි ඇතුන් භාරකරුවන්ගේ ප්‍රධානයා.

ගජනාව

(කථා.) නා. විශාල තුවක්කුව.

ගජනිමීලනය

නා. ඇතකු බලන්නාක් මෙන් මඳක් ඇස් වසා බැලීම; හස්තිනිමීලනය.

ගජපඤ්ජර

නා.ප්‍ර. පුරාණයෙහි ප්‍රාසාදවල තිබුණු ඇත් මුහුණකට සමාන හැඩයෙන් යුත් කවුළු වර්ගයක්; හස්තිපඤ්ජර; ඇත් කවුළුව.

ගජපාඩුව

(කථා.) නා. අතිවිශාල අලාභ හානිය; දරාගත නොහැකි පාඩුව.

ගජබින්නය

(කථා.) නා. (රූඪි.) සම්පූර්ණ අසත්‍යය; අමූලික බොරුව.

ගජම

නා.ප්‍ර. ගර්ජනාව; ගෙරවීම; ගැටුම.

ගජමද

නා.ප්‍ර. මත් ඇතුන්ගේ දෙකපොල ආදි තැන්වලින් වැගිරෙන ද්‍රවය; ඇත්මදය.

ගජමිත්‍රයා

නා. දුක සැප දෙකෙහිදීම පිටු නොපා සිටින යහළුවා; අති මිත්‍රයා.

ගජමුතු

නා. ඇතැම් ඇතුන්ගේ දළ තුළ සැදෙතැයි කියනු ලබන මුතු වර්ගයක්.

ගජඹ

නා.ප්‍ර. ගායනයෙහි හෝ වාදනයෙහි නිපුණ වූ තැනැත්තා; සංගීතඥයා; ගාන්ධර්වයා.