සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 544

ගඞ්ගා ස්‍රෝතස

නා. ගංගාවක ගලා බස්නා ජල ස්කන්ධය; ගඟේ නොකඩවා ගලන දිය දහර.

ගඞ්ගාඋදම

(පාරිභා.) නා. චන්ද්‍ර සූර්ය ආකර්ෂණය නිසා ගංගා ජලයෙහි ඇති වන චලනය හෙවත් වඩදිය බාදිය ඇති වීම.

ගඞ්ගාධර

නා.ප්‍ර. ශිවදෙවි; ඊශ්වරයා.

ගඞ්ගාධාරය

(පාරිභා.) නා. අතු ගංගා සහිත ගඟකින් ජලාශ්‍රිත වන භූමි ප්‍රදේශය (=river basin).

ගඞ්ගානිධිය

(පාරිභා.) නා. ගඟකින් සෝදා ගෙන එන දේ ගංපතුලෙහි තැන්පත් වීමෙන් සෑදෙන නිධිය.

ගඞ්ගානිර්ඣරය

නා. කඳු මුදුනක සිට ඇදහැලෙන දිය කඳ; දිය ඇල්ල; ගඟුලැල්ල.

ගඞ්ගාමාර්ගය

1. (පාරිභා.) නා. ගඞ්ගා පථය.
2. නා. ගමනාගමනය සහ භාණ්ඩ ප්‍රවාහනය සඳහා මාර්ගයක් ලෙස යොදා ගනු ලබන ගංගාව.

ගඞ්ගාරෝහණ

නා.ප්‍ර. විසාලා මහනුවර ත්‍රිවිධ භය දුරු කිරීම පිණිස බුදුන්වහන්සේ ගංගා නම් ගඟින් එතෙරට වැඩ මෙතරට වැඩම කිරීම.

ගඞ්ගාවර්තය

නා. ගංගාවෙහි වේගවත් සැඩ පහර නිසා හටගන්නා සුළිය; ගඟේ දිය සුළිය.

ගඞ්ගාවිලෝපය

(පාරිභා.) නා. අධිපති බවට පැමිණෙන ගංගාවක් අවට ඇති වෙනත් ගංගා වලින් කොටස්, ඇද ගැනීම.

ගඞ්ගාශ්‍රිත

වි. ගඟ ඇසුරු කොට ඇති; ගඟින් දියවර ලබන; ගඟ අසල පිහිටි.

ගඞ්ගෝදකය

1. නා. ගඟෙහි දිය; නදී ජලය.
2. නා. ඉන්දියාවේ ගංගා නම් ගඟේ ජලය.

ගඟස්බඩ

නා. ගං ඉවුර; ගංගා තීරය.

ගඟිත්ත

නා. මහ ගඟක් කරා දිවෙන කුඩා ගංගාව; කුන්නදිය.

ගඟුල

1. නා. දිය උනන තැන; දිය උල්පත; ඌල.
2. නා. දියපාර; ඔය.
3. නා. දියඇල්ල; නිර්ඣරය.
4. (ගොවි.) නා. වතුර; ජලය.
5. (කථා.) නා. වැස්ස; වර්ෂාව.

ගඟුල බානවා

1. (ගොවි.) ක්‍රි. වැස්ස වසිනවා.
2. ක්‍රි. (කමතේ) හරකුන් මූත්‍ර කරනවා.

ගඟුල් ඌල

නා. ඇදහැලෙන දිය පාර.

ගඟුලැල්ල

නා. කඳු පෙදෙසින් ගලා බසින දියපාර; නිර්ඣරය.

ගච්ඡගුම්බය

නා. එක ගොඩේ වැඩුණු ගස් සමූහය; ගස් ගොමුව; පඳුර.

ගච්ඡය

නා. උස් ව නොවැඩෙන කුඩා ගස; පඳුර.

ගජ

1. නා.ප්‍ර. ඇතා: හස්තියා.
2. නා.ප්‍ර. සිංහල ඡන්දසක නාමය.
1. වි. ඇතුන් පිළිබඳ; ඇතුන් සහිත; ඇතුන්ගේ ආකාර ඇති.
2. (රූඪි.) වි. ලොකු; විශාල මහත්; අධික; අතිශය.
3. (රූඪි.) වි. දක්ෂ; හපන්.

ගජ අත

නා. ඇතාගේ හෝ අලියාගේ අත; ඇත් සොඬය; හොඬවැල.

ගජ චක්‍රය

නා. වටයක් වශයෙන් සිටුවන ලද හස්ති සේනාවෙන් සැදුම් ගත් ආරක්ෂක වළල්ල; (යුද) ඇත් වළල්ල.

ගජකැන්

නා.ප්‍ර. ඇත් රංචුව; අලි රැළ.

ගජකුම්

නා.ප්‍ර. ඇතාගේ හිස්මුදුන; ඇත්කුඹ; හස්ති කුම්භස්ථලය.