සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 543

ගංමළුව

(පාරිභා.) නා. කිසියම් හේතුවකින් ගංපත්ල ගැඹුරු වී යෑම නිසා ගඟේ පිටාර තැන්න උස් වී සෑදෙන වේදිකාවක් වැනි කොටස.

ගංවතුර

නා.ප්‍ර. ගඟක් උතුරා පිටාර ගලන ජල දහර; ගොඩබිම යට කරගෙන ගලන ගංගා ජලය.

ගංසළාව

නා. ගංගාවෙහි වේගයෙන් ගලන දිය එක තැනක කරකැවීම නිසා ඇති වන සුළිය; සළාවැටුම.

ගංහිස

නා. ගඟක් පටන් ගන්නා ප්‍රදේශය; ගඟේ මුදුන් පෙදෙස; ගංඉස්මත්ත; ගං ඉහත්තාව.

ගගනගංගාව

නා. අහස් ගඟ; ආකාශ ගංගාව.

ගගනගාමියා

නා. අහසින් ගමන් කරන්නා; අභ්‍යවකාශයේ ගමන් කරන්නා; ගුවන් නියමුවා.

ගගනතලය

නා. අහස; අහස්තලය; ආකාශ තලය; ගගනෝදරය.

ගගනය

1. නා. අහස; ගුවන; ආකාශය.
2. නා. බලි තොවිල් ආදියෙහි දී ඇදුරන් විසින් භාවිත කරනු ලබන මිණිගෙඩිය.

ගගනයාත්‍රාංගණය

නා. ගුවන් යානා නවත්වන ස්ථානය; ගුවන් තොටුපොළ.

ගගනයාත්‍රාව

නා. ගුවන් නැව; අහස්යාත්‍රාව; ආකාශ යානය.

ගගනශේඛර

නා.ප්‍ර. සඳ; චන්ද්‍රයා.

ගගනසේනාව

නා. අහසින් ගොස් සතුරන්ට පහර දීමෙහි යෙදෙන භට හමුදාව; ගුවන් හමුදාව.

ගගනායනය

නා. අහසින් ගමන් කරන මාර්ගය; අහස් මඟ; ගගනපථය.

ගග්ගර

නා.ප්‍ර. ගුගුරන හඬ; ගිගුරුම; ගර්ජනය; මේඝ ගර්ජනාව.

ගඞ්ගා අනුක්‍රමණය

(පාරිභා.) නා. ගංගා ආදි දිය පාරවල පතුලේ බැස්මේ ප්‍රමාණය; ගංපත්ලේ බැස්ම.

ගඞ්ගා ඛාදනය

(පාරිභා.) නා. ගංගා ගලා යෑමේ දී ඒවායේ පතුලත් ඉවුරත් වතුරින් ගෙවීයෑම.

ගඞ්ගා ජනපදය

(පාරිභා.) නා. ගංගාවක් ඇසුරු කොට ගත් ජනාවාසය.

ගඞ්ගා තරණය

(පාරිභා.) නා. ගංගා ඔසස්සේ කැරෙන නැව් ගමනාගමනය.

ගඞ්ගා නිම්නය

නා. ගඟකින් ජලාශ්‍රිත වන සමබිම් පෙදෙස; ගංගාධාරය.

ගඞ්ගා පථය

නා. ගංගාශ්‍රිත මුළුමහත් ප්‍රදේශය.

ගඞ්ගා පරිවහනය

(පාරිභා.) නා. ගංගා මඟින් බඩු සහ මගීන් ඔබ මොබ ගෙන යෑම; ගංගා යාත්‍රා මගින් කෙරෙන ප්‍රවාහනය.

ගඞ්ගා ප්‍රවාහය

නා. වේගයෙන් ගලා බසිනා ගඟේ ජලස්කන්ධය; ගඟේ සැඩ දිය පහර.

ගඞ්ගා භාරය

(පාරිභා.) නා. ගඟක දිය පහරින් ගසා ගෙන යනු ලබන (රොන් මඩ, බොරළු, ගල්කැට ආදි) ඝන ද්‍රව්‍ය සම්භාරය.