සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 563

ගර්භ ධාරණය

1. නා. දරු ගැබක් හට ගැනීම.
2. නා. වැසි වලාකුළු සෑදීම.

ගර්භ පරිහාරය

නා. ගබපෙරහර.

ගර්භ විද්‍යාව

නා. කලලයෙහි නිර්මාණය හා වර්ධනය පිළිබඳ උගන්වන ශාස්ත්‍රය.

ගර්භකෝශය

නා. මවුකුසෙහි කලල රූපය; දරු සිටින කොපුව; ගර්භාශය; දලබුව.

ගර්භගෘහය

නා. විහාරයකට හෝ දේවාලයකට සම්බන්ධ වී ඇති පිළිමගෙය.

ගර්භණීය

වි. නින්දා කටයුතු; හෙළා දැකිය යුතු; ගැරහුම් ලැබිය යුතු.

ගර්භපාතනය

නා. දරුගැබ වැටීම; ගැබ හෙළීම; ගබ්සා කිරීම.

ගර්භමලය

නා. ප්‍රසූතියේ ගර්භාෂයෙන් නිකුත් වන වැදෑමස ප්‍රධාන කොට ඇති අපවිත්‍ර ද්‍රව්‍ය.

ගර්භමෝචනය

නා. ගැබින් නිදහස් වීම; කුස හෑල්ලු වීම; ප්‍රසූතිය.

ගර්භය

1. නා. දරු බොක්ක; ගර්භාශය; මවුකුස.
2. නා. ඇතුළ; අභ්‍යන්තරය.
3. නා. කාමරය; ඕවරකය; නිදන කාමරය.
4. නා. දාගැබක ධාතු නිදන් කිරීමට වෙන් කළ කොටස.
5. නා. ස්තූපයක මැද අර්ධගෝලාකාරාදී හැඩයකින් ඇති කොටස; ගැබ.
6. නා. ගර්භාෂයේ පිළිසිඳ වැඩෙන සත්ත්වයා; කලලරූපය.
7. නා. වලාකුළ; මේඝය.
8. නා. සෛලයක න්‍යෂ්ටිය.
9. නා. වගුව; චක්‍රය.

ගර්භලක්ෂණ

1. නා.ප්‍ර. වැසිවලා ලකුණු; වැහි ලකුණු
2. නා.ප්‍ර. ස්ත්‍රීන් කෙරෙහි දරුගැබක් පිහිටි බවට පහළ වන ලකුණු.

ගර්භශය්‍යා

නා.ප්‍ර. මවු කුසක පිළිසිඳ ගැනීම, මවුකුසෙහි විසීම.

ගර්භශායී

වි. ගර්භයෙහි ශයනය කරන; මවුකුස වසන.

ගර්භස්ථ

වි. ගර්භාශයෙහි පිහිටියා වූ, ගැබෙහි සිටින්නා වූ.

ගර්භස්‍රාවය

නා. කුස ඔත් කලල රූපය දිය වී යෑම; ගැබ වැගිරීම; ගබ්සාව.

ගර්භාගාරය

1. නා. ගෙයක ඇතුළු කාමරය; ඇතුළු කුටිය.
2. නා. තිඹිරිගෙය; සූතිඝරය.

ගර්භාඞ්කුරය

1. නා. ගැබක ආරම්භය; කලල රුපයක මුල් ම අවස්ථාව.
2. නා. ප්‍රජනන ශක්තියෙන් යුතු බීජයක් බවට පත්වන සපුෂ්ප ශාකයන්ගේ මල්වල පිහිටි ඩිම්බය.

ගර්භාධානය

1. නා. දරුවකු පිළිසිඳ ගැනීම හෝ පිළිසිඳ ගැන්වීම; ගැබ් ගැනීම හෝ ගැබ් ගැන්වීම.
2. නා. දරුවකු පිළිසිඳ ගන්වා ගැනීම සඳහා කරන හින්දු විධියක්.

ගර්භාවක්‍රාන්තිය

නා. මවුකුසට බැස ගැනීම; මවුකුස පිළිසිඳ ගැනීම.

ගර්භාශය

[ගර්භ + ආශය]
නා. මවුකුසෙහි දරුවා දරා සිටින අවයවය; දරුගැබ.

ගර්භිණිය

නා. ගැබ්බර තැනැත්තිය; ගැබිණිය.

ගර්භිත

1. වි. අන්තර්ගත; ඇතුළත් කරන ලද.
2. වි. ගර්භ ගත කරන ලද; ගැබට ඇතුළු කරන ලද.

ගර්භෝත්පත්තිය

නා. දරුගැබක් හටගැනීම; දරුවකු කුස පිළිසිඳ ගැනීම; ගැබ් ගැනීම.

ගර්වය

නා. ආඩම්බරය; උඩඟුකම.