සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 632

චර්චා

1. නා.ප්‍ර. විමර්ශනය; විචාරය.
2. නා.ප්‍ර. සායම් ආදිය ගෑම; ආලේපය.

චර්චිත

වි. තැවරූ; ආලේප කරන ලද; ගාන ලද.

චර්දි

නා.ප්‍ර. වමනය; ඡර්දිය.

චර්ම ඝර්ෂණය

නා. සම පිට ඇතිල්ලීම; සම පිට තෙල් ගෑම.

චර්ම ඡිද්‍රය

නා. සමෙහි ඇති කුඩා සිදුර; රෝම කූපය.

චර්ම පාත්‍රය

නා. සමින් කළ උරිය; සම්මල්ල.

චර්ම පැන්සලය

නා. සම මතුපිට ලිවිය හැකි පැන්සලය.

චර්ම විද්‍යාව

නා. සම පිළිබඳ විස්තර විමසන විද්‍යාව (=dermatology).

චර්මකාරයා

නා. සම්වලින් කර්මාන්ත කරන්නා; සම්කරුවා; සපතේරුවා; සොම්මරා.

චර්මකූප

නා.ප්‍ර. රෝම කූප; සමේ පිහිටි කුඩා සිදුරු.

චර්මඛල්ල පුටකය

නා. සමින් මසා ගන්නා ලද පැතැලි මල්ල.

චර්මග්‍රන්ථි

නා.ප්‍ර. සමෙහි පිහිටා ඇති ස්වේද ග්‍රන්ථි.

චර්මච්ඡේදනය

නා. ඇතැම් ආගමිකයන් චාරිත්‍රයක් වශයෙන් සිදු කරන ලිංගයෙහි පුර්ව චර්මය කපා ඉවත් කිරීම.

චර්මදාහය

(පාරිභා.) නා. සමේ රෝගයක්; චර්මයේ ප්‍රදාහය; උඩු සම දැවුණ කල්හි මෙන් වණ වීම (=dermatitis).

චර්මනිශ්‍රිත

වි. සම ඇසුරු කොට ඇති; සමෙහි හටගත්.

චර්මප්‍රසේවිකාව

නා. සමින් කළ හුළං පිඹින උපකරණය; ලොහොකුරුවාගේ කම්මල් ලිපට හුළං පිඹින සම් උපකරණය; මයිනහම.

චර්මපිණ්ඩනය

(පාරිභා.) නා. වැඩෙන කලලයේ අනාගත සමෙහි මැද කොටස සෑදෙන දේහ කොටස (=dermatome).

චර්මය

1. නා. සත්ත්ව ශරීරය වසා සිටින ස්වාභාවික බාහිර ආවරණය; හම.
2. නා. පදම් කර ගන්නා ලද සත්ත්ව හම.

චර්මරේඛා

නා.ප්‍ර. කතුන්ගේ උදරයේ නැබට ඉහළින් ඇති තුන් ඉර; සමෙහි ඉරි මෙන් පෙනෙන චලිත්‍රය.

චර්මරෝග

නා.ප්‍ර. සමේ ලෙඩ; සම ආශ්‍රිත ව හට ගන්නා හොරි, දද ආදි විවිධ ආබාධ.

චර්මාලේපය

1. නා. සමේ රෝග සඳහා ගල්වන ඖෂධ.
2. නා. සමේ අලංකාරය සඳහා ගල්වන ආලේප.

චර්මීය ජලක්ලෝමය

(පාරිභා.) නා. ඇතැම් ජලචරයන්ගේ සමට යාබද ව ඇති කරමල් වැනි ශ්වසන අවයවය (=dermal branchiae).

චර්මීය දත්

(පාරිභා.) නා.ප්‍ර. චර්මීය දන්තක; මෝරුන් වැනි ඇතැම් මසුන්ගේ සහ පිට ඇති සිහින් දත් වැනි රළු කොරල (=dermal teeth).

චර්මීය ධමනිය

(පාරිභා.) නා. ශරීර සමට යාබද ව පිහිටා ඇති ධමනිය (=cutaneous artery).