සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 633

චර්මීය පිටසැකිල්ල

(පාරිභා.) නා. සමට බාහිර ව පිහිටි කොරපොතු වරල් ආදියෙන් සෑදුණු ආවරණය (=dermal exoskeleton).

චර්මීය බාහිකය

(පාරිභා.) නා. අපිචර්මයට යටින් පේශි ආදියට මතුපිටින් පිහිටා ඇති මෘදුපටකය (=dermal cortex).

චර්මීය සන්නාහය

(පාරිභා.) නා. ඇතැම් ශරීර කොටසකට විශේෂ සන්නාහයක් මෙන් ආරක්ෂක ව සිටිනා සම් කොටස (=dermal armour).

චර්යාව

1. නා.ප්‍ර. චරිතය; ගතිගුණ; ස්වභාවය.
2. නා.ප්‍ර. හැසිරීම.
3. නා.ප්‍ර. ගුරුවරාදීන්ට ගරු සත්කාර කිරීම.
4. නා.ප්‍ර. ආගමික වතාවත්හි යෙදීම.
5. (නව.) නා.ප්‍ර. ඇවිදීම; සංචාරය.

චර්යාවාදියා

නා. මනෝවිද්‍යාත්මක නිගමන සඳහා චර්යා රටා හදාළ යුතු යැයි කියන්නා.

චර්වණදන්ත

නා.ප්‍ර. ආහාර ඇඹරීමට උදව් වන දත්.

චර්වණය

1. නා. සැපීම; වමාරා කෑම.
2. නා. යටිහක්ක ඔසවන, එමෙන් ම සැපීමට ආධාර වන මාංස පේශිය.

චර්වය

නා. හපය.

චර්විත

වි. සපන ලද; වමාරා කන ලද.

චරාචර

වි. ජංගම හා ස්ථාවර; චංචල හා නිශ්චල.

චරිත ඝාතනය

නා. චරිතය කෙලෙසීම; චරිතයට හානි පැමිණවීම.

චරිත නිරූපනය

නා. චරිතය විදහා දැක්වීම; ප්‍රබන්ධ කථාදියෙහි චරිතයක් ගොඩ නැඟීම.

චරිත සහතිකය

නා. යම් පුද්ගලයකුගේ කල්ක්‍රියාව, පැවැත්ම, හැසිරීම සම්බන්ධ ව නිකුත් කරන සහතිකය.

චරිතය

1. නා. හැසිරීම; කල් ක්‍රියාව; පැවැත්ම.
2. නා. ජීවිත කථාව; විස්තර කථාව.
3. නා. සිරිත; ව්‍යවහාරය; භාවිතය.

චරිත්‍ර

නා.ප්‍ර. සිරිත; හැසිරීම; පුරුද්ද; චාරිත්‍රය.

චරිතාංග

නා.ප්‍ර. චරිතයක කැපී පෙනෙන විශේෂ අංග; විශේෂ චරිත ලක්ෂණ.

චරිතාන්තරය

නා. චරිතවල එකිනෙකට ඇති වෙනස් බව; චරිත අතර වෙනස.

චරිතාපදානය

[චරිත + අපදානය]
නා. චරිත කථාව; කෙනකුගේ ජිවිත කථාව.

චරිතාවදානය

නා. චරිත කථාව; ජීවිත ප්‍රවෘත්තිය.

චරිම

වි. අන්තිම; අවසාන.

චරියාව

1. (අභි.) නා. චිත්ත සන්තානයෙහි පවතින රාගාදි චරිත ස්වභාවය.
2. නා. හැසිරීම; පැවැත්ම.

චල

වි. සෙලවෙන; චංචල; එහා මෙහා වන; අස්ථිර.

චල කේන්ද්‍රය

(පාරිභා.) නා. චලන මධ්‍යය; සමතුලිත ව ඉපිලෙන වස්තුවක ගුරුත්ව කේන්ද්‍රය ඔස්සේ ඇඳි රේඛාවත් වස්තුව යන්තමින් විස්ථාපනය කළ විට විස්ථාපිත ද්‍රවයේ ගුරුත්ව කේන්ද්‍රය ඔස්සේ ඇඳි රේඛාවත් යන දෙක ඡේදනය වන ලක්ෂ්‍යය (=metacentre).

චල ප්‍රාග්ධනය

නා. ව්‍යාපාරයක නිරතුරු ව වෙනස් වෙනස් ස්වරූප ගන්නා භාණ්ඩ තොග මුදල් ආදි ප්‍රාග්ධනය.