සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 634

චල බීජාණුව

(පාරිභා.) නා. කශිකා ආධාරයෙන් පිහිනිය හැකි අලිංගික ප්‍රජනන සෛලයක් (=swarm spore).

චලකයා

නා. යුද්ධයෙහි සේනා සංවිධානය කරමින් ඒ ඒ තන්හි හැසිරෙන හේවායා; සේනා සන්නිවේදනය කරන්නා.

චලග්‍රහණ

(පාරිභා.) වි. චලන සංවේදය ගන්නා වූ; පේශිවල චලනය සම්බන්ධ (=kinaesthetic).

චලචිත්‍ර කාරකය

(පාරිභා.) නා. සිනමා ලේඛය; චිත්‍රපටයක් තැනීමේ දී ජවනිකා සටහන් කරන කැමරාව (=cinematograph).

චලචිත්‍රය

නා.ප්‍ර. චිත්‍රපටවලින් පෙනෙන චල රූපය; රිදී තීරයේ වැටෙන ජංගම චිත්‍ර.

චලණය

(පාරිභා.) නා. බැංකුවලින් භාණ්ඩාගාරයට දෙනු ලබන ණය; විශේෂයක් අඩු වැඩි වන ණය; වෙනස් වීමට භාජන වන ණය (=floating debit).

චලතාපී

වි. පරිසරයේ උෂ්ණත්වය අනු ව ශරීර උෂ්ණත්වය පවත්වා ගන්නා.

චලන

නා. සෙලවෙන; චංචලවන; එහාමෙහා ගමන් ගන්නා; පිහිටි තැන වෙනස් වන.

චලන චිත්‍රය

(පාරිභා.) නා. චලනය සිදුවන්නා සේ අඟවන චිත්‍රපටය (=motion picture).

චලනය

1. නා. සැලීම; කම්පනය; සංචලනය.
2. නා. සත්ත්වයන් තැනින් තැන ගමන් කිරීම; ජංගමනය.

චලමාන

වි. සෙලවෙන; චංචල.

චලවත්කම්

(පාරිභා.) නා.ප්‍ර. ව්‍යාපාරයක නිතර ම වෙනස් වන සුලු වත්කම් (=floating assets).

චලවර්ණක

(පාරිභා.) වි. ඇතැම් පටක සහ සෛල සංඝටක සතු ව ඇති වෙනස් වන වර්ණ ගැන්වීමේ ගුණය පිළිබඳ වූ (=metachromatic).

චල්‍යතාව

නා. සැලෙන සුලුබව; සසලබව; යා හැකිකම.

චලාචල

[චල + අචල]
වි. සෙලවෙන හා නොසෙල්වෙන; ජංගම හා ස්ථාවර.

චලිත

වි. සෙලවුණු; චංචල වූ; කම්පිත.
නා.ප්‍ර. යම්කිසි වස්තුවක පිහිටීම නොකඩා ම පාහේ වෙනස් වෙමින් පැවතීම(=motion).

චලිතාලම්බනය

[චලිත + ආලම්බනය]
නා. (අභි.) චංචල ස්වභාවයෙන් යුත් අරමුණ; සැලෙන අරමුණ.

චවන

නා.ප්‍ර. චුතවීම; භවයෙන් වෙන් වී යෑම; මරණය.

චවමාන

වි. චුත වන; භවයෙන් වෙන් වී යන.

චවි

නා.ප්‍ර. සම; චර්මය; සිවිය; ඡවිය.

චවිතුකාමතාව

නා. සිටින ආත්ම භාවයෙන් චුත වීමට කැමැත්ත; අන් භවයකට මාරු වීමේ රුචිය.

චෂකය

නා. මධු පානය කරන භාජනය; ඔඩම; කෝප්පය.

ච්‍යුත

වි. එක් ආත්ම භාවයකින් ඉවත් වූ; මිය ගිය.

ච්‍යුතික්ෂණය

නා. චුති චිත්තය පහළ වන අවස්ථාව; මිය යන මොහොත; ජිවිතය නැසෙන මොහොත.