සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 635

ච්‍යුතිය

1. නා. එක් භවයකින් පහවීම; මරණය.
2. (පාරිභා.) නා. ලම්බනය (=parallax).

චාක්ෂුෂ

(පාරිභා.) වි. ඇස පිළිබඳ; ඇස හා සම්බන්ධ (=ophthalmic).

චාක්‍රණය

(පාරිභා.) නා. සංවෘත මාර්ගයක ගමන් කිරීම; සංසරණය; (ලේ) ගමන (=circulation).

චාක්‍රයනය

(පාරිභා.) නා. (ඇස හෝ අග්‍රයක් වැනි) කිසියම් කොටසක් කරකැවීම; කැමති අක්ෂයක් වටා පරිභ්‍රමණය වීම (=circumduction).

චාක්‍රික

(පාරිභා.) වි. චක්‍රයක් මෙන් කැරකෙන; චක්‍රයක හැඩය ගත් (=cyclical).

චාග

නා.ප්‍ර. පරිත්‍යාගය; තෑග්ග; දානය.

චාගානුස්සතිය

[චාග + අනුස්සතිය]
නා. තමන්ගේ ත්‍යාගී ගුණය; ත්‍යාග ගුණය අරමුණු වශයෙන් ගෙන කරන භාවනාව.

චාට

වි. වංචාකාර; රැවටිලිකාර.

චාටනය

නා. වංචාව; රැවටීම; හොරෙන් ගැනීම.

චාටු

වි. රැවටිලිකාර; බොරු ප්‍රශංසා කරන; ඉච්ඡා බස් කියන.

චාටුකම්මතාව

නා. ඉච්ඡා බස් කීමට ඇති කැමැත්ත.

චාටූපමා

[චාටු + උපමා]
(අලං.) නා.ප්‍ර. සියබස්ලකරෙහි දැක්වෙන උපමාලංකාර තිස් තුනෙන් එකක්; චාටුවෙන් හෙවත් ප්‍රායාලාප වශයෙන් කියනු ලබන උපමාව; සේව්‍ය වචනෝපමාලංකාරය.

චාතුද්දසික

නා.ප්‍ර. තුදුස්වක් පොහොය; තුදුස්වක තිථිය; දාහතරවන තිථිය.

චාතුර්මහාරාජිකය

නා. දිව්‍යලෝකයක නාමය; ශක්‍රයාගේ ආධිපත්‍යයෙන් යුත් සතරවරම් දෙවිවරුන් විසින් පාලනය කරනු ලබන දෙව්ලොව.

චාතුර්යය

නා. චතූර භාවය; දක්ෂකම.

චාතුර්විධ්‍යය

නා. සතර ආකාරබව; සිවුවැදෑරුම්බව.

චාන්ද්‍ර

1. වි. චන්ද්‍රයා පිළිබඳ.
2. වි. චන්ද්‍ර නම් ආචාර්යවරයා විසින් රචිත.

චාපය

1. නා. දුන්න; සැව්ව.
2. (පාරිභා.) නා. ලෝහ පෑස්සීමටත් විදුලි ආලෝකය නිපදවීමටත් යොදා ගන්නා විද්‍යුත් උපකරණයක් (=arc).
3. නා. වෘත්ත පරිධියේ දුනු හැඩය ගත් වක් රේඛා කොටස.
4. (ජ්‍යෝති.) නා. දුනු ලකුණෙන් සංකේත වන රාශිය; ධනු රාශිය.
5. නා. අනංගයාගේ මනඃකල්පිත දුන්න.
6. නා. දේදුන්න.

චාපල්‍යය

නා. චපල භාවය; චංචල ගතිය; තිර පිළිවෙතක නොපිහිටන ස්වභාවය.

චාමරය

1. නා. සෙමර වලිගයෙන් තැනූ පවන් සලන උපකරණය; වල් විදුනාව.
2. නා. බුදුරජාණන් වහන්සේගේ සිරිපතුලෙහි පිහිටි අටෝරාසියක් මඟුල් ලකුණින් එකක්.

චාමිකර

නා.ප්‍ර. පිරිසිදු රත්රන්.

චාර

1. වි. හැසිරෙන; ගමන් කරන.
2. වි. ඔත්තු බලන.
3. වි. රැඟුම් දක්වමින් සංචාරය කරන.
1. නා.ප්‍ර. හැසිරීම; ගමන් කිරීම.
2. නා.ප්‍ර. පිළිවෙළ; සදාචාර පැවැත්ම.
3. නා.ප්‍ර. සසල බව.

චාරකය

1. නා. දඟගෙය; බන්ධනාගාරය; සිපිරිගෙය.
2. නා. බැම්ම; විලංගුව.

චාර්වක

නා.ප්‍ර. දත් වර්ගයක නාමය; ඇඹරුම් දත්.