සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 64

අදර

1. නා.ප්‍ර. යටි තොල; උඩුතොල; අධරය.
2. නා.ප්‍ර. ඇල්ම; ආදරය; ගෞරවය, භක්තිය.
3. නා.ප්‍ර. (යමක්) දරා සිටින දෙය; ආධාරකය; ආධාරය; ප්‍රතිෂ්ඨාව
4. (ව්‍යාක.) නා.ප්‍ර. ආධාර විභක්තිය.
1. වි. උපකාර වන; ආධාර වන.
2. වි. ජරාවට පත් නොවන.

අදර කිරිය

නා.ප්‍ර. (ව්‍යාක.) උපකාරක ක්‍රියාව; ක්‍රියාවක අර්ථ පරිපූර්ණයට යොදන අතිරේක ක්‍රියාව.

අදර විබත්

නා.ප්‍ර. (ව්‍යාක.) ආධාරාර්ථය පැවසෙන විභක්තිය; ආධාර විභක්තිය.

අදරකරු

නා.ප්‍ර. (ව්‍යාක.) ආධාරාර්ථය හඟවන කාරකය; ආධාර කාරකය.

අදර්ශනාර්හ

වි. දැකීමට නොනිසි; දර්ශනයට නුසුදුසු.

අදර්ශනීය

1. වි. දැක්මට නොනිසි; නොදැකිය යුතු.
2. වි. දැකුම් කලු නොවූ.

අදර්ශිත

වි. නොදක්වන ලද; පෙන්වා නොදෙන ලද; අනිර්දිෂ්ට.

අදරාලේපය

නා. තොල්වල ගාන ආලේපය; අධරයෙහි ගල්වන ආලේපය.

අදවක

නා. මේ දවස; අද දිනය.

අදවක්

ක්‍රි.වි. අද දවස දක්වා; මේ දවස වන තුරු; මෙතෙක්.

අදස

1. නා. (මුහුණ බලන ) කන්නාඩිය; කැඩපත.
2. නා. අදහස; අධ්‍යාශය; අභිප්‍රාය.
වි. දක්නට නැති; නොපෙනෙනසුලු; අදෘශ්‍ය.

අදස්

වි. දක්ෂ නොවූ; දස්කම් නැති; අදක්ෂ.

අදස්තල

නා. කැඩපත මතුපිට; ආදර්ශ තලය; දර්පණ තලය

අදහනවා

1. ක්‍රි. ඇත්ත හැටියට පිළිගන්නවා; (යමක්) විශ්වාස කරනවා.
2. ක්‍රි. තමන්ගේ ආගම අනුව දක්වා ඇති සිරිත් පිළිපදිනවා; පුද පූජා පවත්වනවා.

අදහම

1. නා. දහමට විරුද්ධ වුව; ධර්මයට පටහැණි වූව; මිථ්‍යා ධර්මය
2. නා. අයුක්තිය, අයහපත.

අදහස

1. නා. සිතිවිල්ල; කල්පනාව; අධ්‍යාශය.
2. නා. අභිප්‍රාය; අභිලාෂය.
3. නා. අරමුණ; අපේක්ෂාව.
4. නා. (යමක් කිරීමේ හෝ ලැබීමේ) දැඩි චින්තනය; අධිෂ්ඨානය; ප්‍රණිධිය.
5. නා. කැමැත්ත; රුචිය; ආශාව.
6. නා. අනුමතය; අනුදැනීම.
7. නා. තේරුම්; අරුත; අර්ථය.

අදහස් උදහස්

නා.බහු. අනුකූල සිතිවිලි හා විරුද්ධ සිතිවිලි; එකඟ අදහස් හා පටහැණි අදහස්.

අදහැනි

වි. ඇත්ත හැටියට පිළිගත යුතු වූ; විශ්වාස කටයුතු; ඇදහිය යුතු.

අද්ථෝද්දේශය

[අර්ථ + උද්දේශය]
නා. අර්ථය දැක්වීම; අර්ථ විවරණය.

අද්දර

1. නා. කෙළවර; අයින.
2. නා. ළඟ; අසල; සමීපය.

අද්ධ

1. නා.ප්‍ර. අඩ; අර්ධය.
2. නා.ප්‍ර. මඟ; මාර්ගය.
3. නා.ප්‍ර. කාලය; සමය.

අද්ධාන ක්ලාන්තයා

නා. දුර මඟක යෑමෙන් පීඩාවට පත් පුද්ගලයා.

අද්ධාන ගමන

නා. දීර්ඝ මාර්ගයක ගමන් කිරීම; දුර ගමනක් යෑම.

අද්ධාන පරිච්ජේදය

නා. (අභි.) ජීවත් වන කාලය පිරිසිඳ දැන ගැනීම; ජීවත් වන වකවානුව නියම කොට දැන ගැනීම.