සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 63

අතෘප්ත

වි. සෑහීමට පත් නුවූ.

අතෙවුරු

නා.ප්‍ර. අන්තඃපුරය.

අතේකිච්ඡ

වි. පිළියම් කළ නොහැකි; අසාධ්‍ය.

අතේජස්ක

වි. තේජස නැති; ශක්ති විරහිත.

අතොවිනවා

ක්‍රි. තූර්ය භාණ්ඩ වාදනය කරනවා; වයනවා.

අතෝනිය

(කථා.) නා. මසුන් ඇල්ලීමට උපයෝගී කරනු ලබන්නා වූ ද ජාකොටුවල ඇද තබනු ලබන්නා වූ ද දැල් විශේෂය.

අතෝරය

නා. අතවරය.

අථර්ව

1. නා.ප්‍ර. ලෝක නිර්මාතෘ වූ මහා බ්‍රහ්මයාගේ වැඩිමල් පුත්‍රයාගේ නම.
2. නා.ප්‍ර. ගිනි පුදන්නා; ගිනි දෙවියන් පුදන පූජකයා.

අථර්ව වේදය

නා. අථර්වර්ණ වේදය; චතුර්වේදයෙහි සතර වැන්න.

අථල

නා.ප්‍ර. ථලය හෙවත් ගොඩබිම නොවන බිම් පෙදෙස; දිය රැඳි බිම.

අථාවර

වි. එහා මෙහා ගෙන යා හැකි; ස්ථාවර නොවූ; චංචල (දේපළ පිළිබඳ යෙදේ).

අද

1. නා. උදා වී පවතින දිනය; මෙදා.
2. නා. එළුවා; අජයා.
3. නා. එළු රැස; මේෂ රාශිය.
4. නා. අනංගයා; කාම දේවයා.
5. නා. හදවත; ළය; හෘදය.
6. නා. හිත; චිත්තය.
7. නා. කෑම අනුභව කිරීම; භක්ෂණය.
8. නා. කන තැනැත්තා; අනුභව කරන්නා; කන්නා; භක්ෂකයා.
9. නා. නැකැත් විසි හතෙන් එකක්.
1. වි. තෙත් වූ; තෙමුණා වූ; ආර්ද්‍ර වූ.
2. වි. නොවියළි; අමු.
3. වි. අලුත්; නව.

අද ඇති

වි. තමා පිළිබඳ; තමාට අයත් වූ; අධ්‍යාත්මය පිළිබඳ වූ; ආධ්‍යාත්මික.

අදක්ෂ

වි. දක්ෂ නොවූ; අසමර්ථ; සූර නොවූ.

අදත්තාදාන පරිභෝගය

නා. නුදුන් දෙය (සොර සිතින්) ගෙන පරිහරණය කිරීම; සොරා ගත් වස්තුව භුක්ති විඳීම.

අදත්තාදානය

[අදත්ත + ආදානය]
නා. නුදුන් දෙය ගැනීම; අන්සතු වස්තුව සොර සිතින් ගැනීම; සොරකම් කිරීම.

අදද

1. වි. තෙත්; තෙමුණු; ආර්ද්‍ර.
2. වි. මොළොක්; මෘදු.

අදනය

නා. කෑම; අනුභවය; භුඤ්ජනය.

අදන්

1. නා.ප්‍ර. කාලය.
2. නා.ප්‍ර. දිගු මං; දීර්ඝ මාර්ග.
3. නා.ප්‍ර. වෙහෙස; පීඩාව.
1. වි. වෙහෙසට පත්; පීඩිත.
2. වි. පුරුදු; ඇබ්බැහි.

අදන්ත

1. වි. දත් නැති; ලොඹු.
2. වි. දමනය නොවූ; නොදැමුණු; නොහික්මුණු; හීලෑ නොවූ.
නා.ප්‍ර. නොදැමුණු තැනැත්තා; නොහික්මුණු පුද්ගලයා.

අදන්මග

නා. දිගු මඟ, දීර්ඝ මාර්ගය.

අදම්‍ය

වි. දමනය කළ නොහැකි; යටත් කළ නොහැකි.

අදමිටු

වි. දැහැමි නොවූ; යුක්ති සාධාරණයෙහි නොපිහිටි; අධර්මිෂ්ඨ.

අදමිත

වි. හීලෑ නොකරන ලද; දමනය නොකළ.