සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 700

තඩය

නා. බර අවුණන ලීය; මැද බර අවුණා දෙකොනින් දෙදෙනකු උසුලාගෙන යන ලීය.

තඩි

වි. ලොකු; මහත්; විශාල.
1. නා.ප්‍ර. පොල්ල; මුගුර.
2. නා.ප්‍ර. විදුලිය.
3. නා.ප්‍ර. තැළීම; පහරදීම.

තඩි බානවා

(කථා.) ක්‍රි. පහර දෙනවා; බැට දෙනවා; තළනවා.

තඩිය

1. නා. ලොකු දණ්ඩ; මහ පොල්ල; තොයිල්වලදී පිදවිලි ගෙනයාම සඳහා උපයෝගී කරගන්නා යෂ්ටිය.
2. නා. පල්ලැක්කිය; දෝලාව.
3. නා. පාරුව පැදීම සඳහා ගනු ලබන යෂ්ටිය.

තඩියම

(කථා.) නා. හදිසිය; ඉක්මන; කලබලය.

තඩිස්සිය

නා. ඉදිමුම; ඉලිප්පුම.

තඩුත්තු

නා.ප්‍ර. බාධා; අවහිර.

තඩුම්බු කරනවා

ක්‍රි. හරිහැටි නොවිකා යම්තම් හපනවා.

තණ

1. නා. බෙහෙවින් උසට නොවැඩී, බිම දිගේ දුවන සිහින් කොළ සහිත පැළෑටියක්.
2. නා. හේන්වල වැවෙන සිහින් ඇට සහිත කටුසර බෝගයක්; තණහාල් කඞ්ගු.
3. නා. තණ්හා; තෘෂ්ණාව; ඇලීම.

තණ ඇතිරිය

නා. නිදීමට හෝ හිඳීමට සුදුසු ලෙස තණ අතුරා සකස් කළ ආසනය; තණ බිස්ස; ඝන ව තණ වැවුණු බිම.

තණ කබල

නා. කෑමට කටට ගත් තණකොළ ස්වල්පය; තණකොළ කට.

තණ කැඳ

නා. තණ හාල්වලින් සාදන ලද කැඳ.

තණ කැරැල්ල

නා. මිටින් ගත හැකි තණකොළ ප්‍රමාණය; තණ මිට; තණ අහුර; තණ මිටිය.

තණ කිළිය

නා. තණින් සෙවිලි කරන ලද කුඩා කුටිය; තණකොළ යොදා තනාගත් කුඩා ගෙය.

තණ ගැටය

නා. කුඩා තණ පැළෑටිය; තණ පැළය.

තණ ගෙය

1. නා. තණකොළ සෙවිලි කළ ගෙය.
2. නා. තෘෂ්ණාව නැමති ගෙය.

තණ පතර

නා.බහු. පැතිර සිටි තෘණ ගොල්ල; විසිරී වැඩුණු තණ.

තණ පලඟ

නා. තණ ඇතිරීමෙන් සකස් කළ ආසනය; තණ පල්ලංකය.

තණ බිඩැල්ල

(කථා.) නා. සරු ලෙස තණ වැඩුණු තැනකින් කපා ගන්නා තණ සහිත පස් පිඬ.

තණ බිම

නා. තණ කොළ වැවී ඇති බිම් පෙදෙස; (ගව ආදි සතුන් උදෙසා) වවන ලද තණ භූමිය.

තණ බිස්ස

නා. ඝන ලෙස වැඩුණු තණ ගාල; ඝන තණගොල්ල.

තණ සියන

නා. තණකොළ සෙවිලි කළ පියස්ස හෙවත් වහල; තෘණ ඡදනය.

තණ සුඹුළුව

නා. තණකොළවලින් තැනූ හිස් වැස්ම හෝ දරණුව.

තණඔල

නා.ප්‍ර. තණ සහලින් පිසන ලද බත් ඇටය; තණබත් ඇටය.