සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 74

අධිතප්ත

(පාරිභා.) වි. අධික වශයෙන් රත් කළ; සන්තෘප්ත තත්ත්වයේ පවත්නා උෂ්ණත්වයට වඩා අධික උෂ්ණත්වයකට පැමිණවීම සඳහා රත් කරන ලද (=super heated).

අධිතාපනය

(පාරිභා.) නා. අධික ලෙස රත් කිරීම; සන්තෘප්ත තත්ත්වයේ පවත්නා උෂ්ණත්වයට වඩා අධික උෂ්ණත්වයකට පැමිණවීම සඳහා රත් කිරීම (=superheating).

අධිද්‍රාවණය

(පාරිභා.) නා. ද්‍රවයක් මගින් යම්කිසි ද්‍රව්‍යයක් ක්ෂණික ව දිය කරමින් ද්‍රාවණයක් සෑදීම (= dead melting).

අධිදේවතා

නා.ප්‍ර. අරක්ගත් දෙවියා; අධිගෘහිත දේවතාවා.

අධිධ්වනි විද්‍යාව

නා. අධිධ්වනීන් (කනට නෑසෙන තරම් අධික සංඛ්‍යාතයක් ඇති ධ්වනි) පිළිබඳ විද්‍යාව.

අධිනායක

නා.ප්‍ර. ප්‍රධාන නායක; අධිපතියා.

අධිනීතිඥයා

නා. ජ්‍යෙෂ්ඨ නීතිවේදියා; අද්වකාත්.

අධිපඤ්ඤා

නා.ප්‍ර. ශ්‍රේෂ්ඨ ප්‍රඥාව; සංස්කාර අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් පිරිසිඳ දක්නා විදර්ශනා ඥානය; මාර්ගඵල සිත්වල යෙදෙන ප්‍රඥාව.

අධිපති

නා.ප්‍ර. ප්‍රධාන; නායක; ස්වාමි; පාලක.

අධිප්පාය

නා.ප්‍ර. අදහස; අදහස් කළ කාරණය; අභිප්‍රාය.

අධිප්පේත

වි. අදහස් කළ; කල්පනා කරන ලද.

අධිපාලනය

නා. ශ්‍රේෂ්ඨ පාලනය; විශේෂ පාලනය.

අධිබල

වි. වැඩි බලයෙන් යුත්; අධික ශක්තිය ඇති.

අධිභරණය

(පාරිභා.) නා. වැඩියෙන් පැටවීම; වැඩි බර දැරීම (=overloading).

අධිභාෂණය

නා. ගෞරවාන්විතව කීම; සැලකිලිමත්ව කරන ප්‍රකාශය.

අධිමාධ්‍යය

(පාරිභා.) නා. සාමාන්‍ය අකුරුවලට අමතර ව රූපය, ශබ්දචලන, චිත්‍ර වැනි වෙනත් මාධ්‍යයන් ද අඩංගු සම්බන්ධිත ලේඛන (=hypermedia).

අධිමිල

(පාරිභා.) නා. භාණ්ඩයක ස්ථාපිත සාමාන්‍ය හෝ නාමමාත්‍ර මිලත් එය ලබා ගත හැකි මිලත් අතර වෙනස (=Premium).

අධිමුක්ත

1. වි. නැමුණු; ඇලුණු; ආසක්ත.
2. වි. නිශ්චිත.

අධිමුක්තිය

1. නා. සිත නැමීම; ඇලීම; අභිප්‍රාය.
2. නා. තද විශ්වාසය; ඇදහීම.
3. (අභි.) නා. සසරින් මිදීම; නිර්වාණයට සැපත් වීම.

අධිමුච්චනය

1. නා. අරමුණෙහි නිශ්චයනය; තද විශ්වාසය; ඇදහීම.
2. නා. ආවේශ වීම; අනුන් තමා ලෙස ක්‍රියා කරන මෙන් ඉටීම.

අධිමූර්ඡාව

1. නා. අධික සිහි නැතිවීමෙන් හට ගන්නා තද නින්ද.
2. නා. අතිශය නිද්‍රාවෙන් යුතු රෝගය.

අධිමොක්ඛය

නා. (අභි.) අරමුණ සනිටුහන් කිරීම; නිශ්චය කිරීම.

අධියර

1. නා.ප්‍ර. ප්‍රධාන හෝ ශ්‍රේෂ්ඨ කාර්යය.
2. නා.ප්‍ර. පරිච්ඡේදය; මාතෘකාව.
3. නා.ප්‍ර. ප්‍රාර්ථනාව.
4. නා.ප්‍ර. අදියර; අවස්ථාව.
5. නා.ප්‍ර. පූජා සත්කාරය.

අධියෝගය

නා. (ජ්‍යෝති.) ශ්‍රේෂ්ඨ ග්‍රහ යෝගය.