සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 758

තීක්ෂ්ණ

1. වි. මුවහත්; සියුම්; තියුණු.
2. වි. වහා වැටහෙන; විනිවිද දකින; විශාරද; විචක්ෂණ.
3. වි. බලවත් තේජසට පත් කළ; ප්‍රබල.
4. වි. වේගවත්; ජව සම්පන්න; ශීඝ්‍ර.
5. වි. සැර; කටුක; තදබල.

තීන්

නා.ප්‍ර. තේවල ඇති ශරීරය ප්‍රාණවත් කරන පදාර්ථය.

තීන්තමඩිය

නා. ඇතැම් ශීර්ෂ පාදිකයන්ගේ ගුදය අසලින් ආහාර මාර්ගයට විවෘත වන තද දුඹුරු පැහැ වර්ණකයක් ස්‍රාවය කරන ග්‍රන්ථිය.

තීන්දුව

1. නා. යම් ප්‍රශ්නයක් පිළිබඳ අවසාන තීරණය; අවසාන නිගමනය; විනිශ්චය.
2. නා. අවසානය; නිමාව.

තීරක ඡන්දය

(පාරිභා.) නා. අවසාන තීරණය කෙරෙහි බලපාන ඡන්දය; පක්ෂ විපක්ෂ ගණන සමාන වූ කල තීරණයක් දීම සඳහා ගැනෙන අමතර ඡන්දය; තීරණාත්මක ඡන්දය.

තීරක දිවුරුම

(පාරිභා.) නා. අධිකරණ විනිශ්චය ආදියෙහි දී තීරණයට වහල් වන දිවුරුම; නඩු තීන්දුවට පදනම් කරගන්නා දිවිරීම; තීරණාත්මක සපථය.

තීරකය

නා. තීරණය කරන්නා හෙවත් තීරකයා විසින් දෙනු ලබන අවසාන විනිශ්චය.

තීරකයා

1. නා. අවුලකට යොමු වූ කරුණු බේරුම් කරනු සඳහා තීරණය දෙන තැනැත්තා.
2. නා. තරග විනිශ්චයකරුවා.

තීරණ ආඥාව

නා. විනිශ්චය ඇතුළත් නියෝගය; තීන්දු නියෝගය.

තීරණ නීතිය

නා. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණ පදනම් කරගෙන ඇති වන නීතිය; නීතිය වශයෙන් අනාගතයෙහි වලංගුවන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව.

තීරණ සාක්ෂිය

නා. තීරණාත්මක නිගමනයකට හෙවත් අවසාන විනිශ්චයකට බැස ගැනීමට උපකාර වන සාක්ෂිය.

තීරණය

නා. විනිශ්චය; නිගමනය; තීන්දුව.

තීරභූමි

නා.ප්‍ර. ගංගා ඇළ දොළ ආදි ජලාශ අසල බිම්; ඉවුරු බිම්.

තීරය

1. නා. මුහුදු ගංගා ඇළ දොළ ආදි ජලාශ දෙපස බිම් තීරුව; ඉවුරු බිම; වෙරළ.
2. නා. දාරය; සිහින් දිග පටිය.
3. නා. පුවත්පත් පිටු උඩ සිට පහළට වශයෙන් බෙදා ඇති සිහින් දිග පටිය; තීරුව.

තීරලේඛා

නා.ප්‍ර. ඉවුරු පෙළ; ඉවුරු පන්තිය.

තීර්ථ

1. නා.ප්‍ර. ගංගා ඇළ දොළ ආදියෙන් එගොඩ මෙගොඩ වන ස්ථානය; තොට; තොටුපළ.
2. නා.ප්‍ර. දෙසැට මිථ්‍යා දෘෂ්ටිය.
3. නා.ප්‍ර. කෙත; කුඹුර.
4. නා.ප්‍ර. ශාස්ත්‍රය.
5. නා.ප්‍ර. උපාය.
6. නා.ප්‍ර. ඍෂීන් සේවනය කළ ජලය.
7. නා.ප්‍ර. (බ්‍රාහ්මණයන්ගේ පාප ප්‍රවාහය කරන) පවිත්‍ර ස්ථානය.
8. නා.ප්‍ර. උපාධ්‍යායයා.

තීර්ථංකරයා

නා. සංසාරයෙන් එතෙරට ගිය බව කියන හෝ සිතන මිථ්‍යා දෘෂ්ටිකයා; ජෛන ශාස්තෘවරයා.

තීර්ථක

වි. මිථ්‍යා දෘෂ්ටිය ගත්; මිසදිටු.

තීර්ථක පාෂාණ්ඩයා

නා. තීර්ථක මිථ්‍යාදෘෂ්ටිය වැලඳ ගත් පුද්ගලයා.

තීර්ථක මථනය

නා. මිථ්‍යා ලබ්ධිය වැලඳ ගත් අය මර්දනය කිරීම; තීර්ථකයන් මැඬලීම.

තීර්ථකයා

නා. දෙසැට මිථ්‍යා දෘෂ්ටි අතුරෙන් කිසියම් දෘෂ්ටියක් පිළිගෙන පැවිදි වූ තැනැත්තා.

තීර්ථායතනය

නා. තීර්ථකයන් වසන ආශ්‍රමය; මිථ්‍යාදෘෂ්ටිකයන්ගේ ආරාමය.

තීරිත

වි. තීරණය කළ; නිගමනයට පැමිණි; තීන්දු කළ.

තීරු ගාස්තුව

නා. රටකින් රටකට භාණ්ඩ ගෙන ඒමේ දී හෝ යැවීමේ දී රජය හෝ ප්‍රාදේශීය මණ්ඩලයක් විසින් අය කරනු ලබන ගාස්තුව; ආනයන අපනයන සඳහා අය කෙරෙන බද්ද; තීරු බද්ද.