සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 765

තුනුලිය

නා. ශරීරය නමැති ලතාව; සිරුර නමැති වැල.

තුනුවඟ

1. නා.ප්‍ර. සිහින් සිරුර; කෙට්ටු ශරීරය.
2. නා.ප්‍ර. ස්ත්‍රී නිමිත්ත; යෝනිය.
3. නා.ප්‍ර. සිහින් සිරුරක් ඇත්තී; කාන්තාව.
4. නා.ප්‍ර. අනංගයා.

තුනුවට

නා. බෙල්ල; ගෙල.

තුනුවිය

නා. කාන්තාව; ස්ත්‍රිය.

තුනුවේදය

නා. ඍග්, යජුර්, සාම යන තුන් වේදය; ත්‍රිවේදය; වේදත්‍රය.

තුනුසපුව

නා. දේහ සම්පත්තිය; රූපශ්‍රීය.

තුනුසා

නා.ප්‍ර. අත; බාහුව.

තුනුහව්ව

නා. ශරීර ලීලාව.

තුනුහිරු

නා.ප්‍ර. අනංගයා; මල්සරා.

තුනුහොළ

නා.ප්‍ර. සිරුර පිළිබඳ දුක.

තුප්පහි සංස්කෘතිය

නා. සිංහල සංස්කෘතියට නොගැළපෙන හැඩගැසීම; පෘතුගීසි, ලන්දේසි ආදි විජාතීන්ගේ පිළිවෙළ අනු ව සකස් සංකර හැදියාව.

තුප්පහියා

1. නා. එක් බසකින් කියන දෙය වෙනත් බසකට හරවන්නා; තෝල්කයා.
2. නා. ලංකාවේ වසන ඕලන්ද හෝ පෘතුගීසි ජාතියට අයත් තැනැත්තා.
3. නා. සිංහල සංස්කෘතියට නොගැළපෙන හැඩගැසීම් ඇත්තා; සංකරයා.

තුප්පිය

නා. හිස් වැස්ම; තොප්පිය.

තුප්පොට්ටිය

1. නා. උඩරට රජුන් හා ප්‍රභූන්ගේ පාරම්පරික ඇඳුම; මනා ලෙස මැදින් සන්ධි වන කැබලි දෙකකින් යුත් අටරියන් හෝ දහරියන් සුදු රෙද්ද.
2. නා. වර්ණවත් දළ රෙද්දෙන් කළ ඇඳ ඇතිරිල්ල.
3. නා. දෙවුර වසා පොරවන තුවාය.

තුමං කරාමය

නා. තුන් ආකාරයකට විවෘත කළ හැකි කරාමය.

තුම්

වි. උතුම්; උත්තම.

තුම්බය

1. නා. මළ සිරුර ගෙන යන දෙණ.
2. නා. ථූපය; චෛත්‍යය.
3. නා. නැළි හතරක ප්‍රමාණය; කුරුණිය.
4. නා. දරු බොක්ක; ගර්භාෂය.
5. නා. යටි පැත්ත; පහටිය.
6. නා. කයිතාලම් විශේෂයක්; සම්මය.
7. නා. තෙල් බඳුන.
8. නා. දිය ඇළ.

තුම්බිකා

වි. බීජාකාර; අණ්ඩාකාර.

තුම්බිකා කවාටය

නා. මැද කනේ ඇතුළු බිත්තියේ ඇති සිදුරු දෙකෙන් උඩ සිදුර.

තුම්බු

(කථා.) නා.ප්‍ර. කොහු බත් සහිත පොල්කොහු.

තුමුටු

නි. වහ වහා; ඉක්මනින්; ලහි ලහියේ.

තුමුල

වි. මහත්; විශාල; අධික.

තුඹ

1. නා.ප්‍ර. ඊයම්.
2. නා.ප්‍ර. චෛත්‍යය; ස්තූපය.
3. නා.ප්‍ර. එළවළුවක් වශයෙන් ගැනෙන කුඩා ඵලයක් දරන වැලක්.

තුඹපට

නා. තුනී ඊයම් තහඩුව; ඊයම් පට්ටය.