සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 764

තුන්සිඛය

නා. පැවිදි උතුමන් විසින් පුරනු ලබන අධිශීල, අධිචිත්ත, අධි ප්‍රඥා යන ත්‍රිවිධ ශික්ෂාව.

තුන්සිත

නා. දානාදි කුසල ක්‍රියාවක පූර්ව, මධ්‍යම, අවසාන යන අවස්ථා තුනේ දී බල පැවැත්වෙන තුන් ආකාරවූ සිත.

තුන්සිවුර

නා. (විනය.) භික්ෂූන් වහන්සේලාට කැප සරුප් ලෙස සැකසූ තනිපට සිවුර, දෙපට සිවුර හා අඳනය යන තුන; අන්තරවාසකය, උත්තරාසංගය, සංඝාටිය යන චීවරත්‍රය.

තුන්හන

නා.ප්‍ර. ආයුධ මුවහත් තබන වියළි ගල, දිය ගල හා තෙල්ගල යන තුන.

තුන්හුලස්

වි. දාර තුනක් ඇති; තුන් පැති සහිත.

තුනාකම්

නා.ප්‍ර. ඇඳුම් මැහීම; සූචිකර්මය.

තුනැඟිල්ල

නා. අතේ මහපටැඟිල්ල දබරැඟිල්ල හා මැදැඟිල්ල යන ඇඟිලි තුන.

තුනැස

නා. ඇස් තුනක් ඇති ඊශ්වරයා; තිනෙත්.

තුනැසරුපු

නා.ප්‍ර. ඊශ්වර දෙවිගේ රුපු හෙවත් සතුරා; අනංගයා; කාමදේවයා; මල්සරා.

තුනැස්

වි. කොන් තුනක් ඇති; තුන් හුලස්.

තුනැස්ගිරි

නා.ප්‍ර. ඊශ්වරයා වසන පර්වතය වන කෛලාශය; කෙලෙස් ගිර.

තුනිංචිය

1. නා. කැමැත්ත; අවසරය.
2. නා. සැනසීම; අස්වැසිල්ල.
3. නා. කෙළිබඩුව.
4. නා. සතුට.

තුනී

1. වි. ඝනකම නැති; ඝන නොවූ.
2. වි. අඩු වූ; අල්ප වූ.
3. වි. දැඩි නොවූ; ප්‍රමාණයෙන් අඩු; සැහැල්ලු.
4. වි. දියාරු; උකු නැති.

තුනීලෑලි

නා.ප්‍ර. තුනී ව පතුරු ආකාරයට ඉරූ ලී ස්තර ලෙස දිග අතටත් හරස් අතටත් මාරුවෙන් මාරුවට අලවා නිෂ්පාදනය කරන දැව පුවරු වර්ගය (=plywood).

තුනු

1. වි. ඝනකමින් අඩු; තුනී.
2. වි. තුන් ආකාර.
3. වි. උසින් අඩු; මිටි; කුඩා.
4. වි. මහතින් අඩු; සිහින්; කෙට්ටු.
1. නා.ප්‍ර. කුඩා දෙය; සියුම් දෙය.
2. නා.ප්‍ර. ඇඟ; සිරුර.
3. නා.ප්‍ර. තුන.

තුනු විල

නා. සිරුර නමැති විල; ශරීරය නමැති තඩාගය.

තුනුකලල්

නා.ප්‍ර. තුනී හෝ සිනිඳු මඩ; සියුම් මඩ.

තුනුකෙහට

නා.ප්‍ර. සිරුර සපා ඉතිරි වන රොඩ්ඩ; ශරීර නැමැති හපය.

තුනුතඹ

නා.ප්‍ර. ඇටි කුකුළා.

තුනුපල

නා.ප්‍ර. පියොවුරු; පයෝධර.

තුනුපියුම්පෙති

නා.බහු. රත්පියුම් මල් පෙති.

තුනුයටිය

නා. සිහින් සිරුර.

තුනුරුව

නා. සිරුරෙහි හැඩ රුව; ශරීර ශෝභාව.

තුනුරුවන

නා. බුද්ධ, ධම්ම, සංඝ යන රත්න තුන; තෙරුවන.