සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 781

තොහල්

නා.ප්‍ර. කුඩය; ජත්‍රය.

තෝ

සර්ව. ඔබ; නුඹ (විශේෂයෙන් අය තත්ත්වයෙන පහත සම්බන්ධයෙන් යෙදේ).
1. නා.ප්‍ර. ජලය; වතුර.
2. නා.ප්‍ර. වියෙහි පොත්ත; දහයියා.
3. නා.ප්‍ර. වාරය; වතාව.
4. නා.ප්‍ර. කොටස; පංගුව.
5. නා.ප්‍ර. කෑඳැත්තා.

තෝං

නා.ප්‍ර. සූදූ ක්‍රීඩාවට සහභාගී වන්නන්ගෙන් අය කරන ගාස්තුව; සූදූ ගාස්තුව.

තෝං ලණුව

නා. ගොනා මහෙයවන ලණුව; කරත්තය බැඳි ගොනාගේ නාස් ලණුවට සම්බන්ධ කොට රියදුරා අත රඳවා ඇති ලණුව.

තෝංගු පනිනවා

(කථා.) ක්‍රි. බළලුන්, රිළවුන් ආදි සතුන්, අත හෝ පොල්ලක් වෙතට උඩින් පනිනවා.

තෝංචිය

1. නා. පරක්කුව; ප්‍රමාදය.
2. නා. නැවැත්ම; අවකාශය.

තෝක

නා. අඩුබව; ඌනත්වය.

තෝටාව

1. නා. පතරොම.
2. නා. පතරොම් තුවක්කුව.

තෝඩුව

1. නා. කර්ණාභරණය.
2. නා. ලඹ දෙන පැද්දෙන සැරසිල්ල.

තෝණ්ඩිය

නා. ළිඳකින් වතුර අදින උපකරණය; ආඬියා.

තෝත්තරය

නා. (දෙවියන් යකුන් ප්‍රභූන් ආදින් වෙත කෙරෙන) ස්තුති ගීතිකාව; ප්‍රශස්තිය; ස්තෝත්‍රය.

තෝත්‍රය

නා. ඇතුන් හසුරුවන කටුව; හෙණ්ඩුව; අංකුශය.

තෝතැන්න

1. නා. ගසක් වටේ දිය රැඳවීම සඳහා තැනූ පහත් කවාකාර කණ්ඩිය; ආලවාලය.
2. නා. බීජ රෝපණය සඳහා උස් කොට සකස් කළ බිම; පාත්තිය.
3. නා. යම් අදහසක් හෝ කාර්යයක් වෙත ආරම්භය සැලසූ පරිසරය.
4. නා. ජලතලාව.

තෝදනය

නා. වේදනාව; පීඩාව.

තෝන් පටි

නා.ප්‍ර. අශ්වයකු මෙහෙයවීමට රියදුරු අතෙහි රඳවා ගන්නා කටකලියාවට සම්බන්ධ කළ පටිය.

තෝන්තු

වි. ප්‍රබෝධවත් ගතියෙන් තොර; මලානික; දුක්මුසු; ශෝකී.

තෝන්තුව

1. නා. සිහි නැති වීම; විසංඥ වීම.
2. නා. සිහි මුළා ගතිය; ක්ලාන්ත ස්වභාවය.
3. නා. ඔල්මාද ගතිය; විකාර ස්වභාවය.

තෝනිය

නා. යාත්‍රා විශේෂයක්; ඔරුව.

තෝමරය

නා. දිගු මිටක් ඇති තනි සූචියකින් යුතු අනින ආයුධය.

තෝමරාංකුශය

නා. හෙණ්ඩුව; අකුස්ස.

තෝමස්පතුරු

(පාරිභා.) නා.ප්‍ර. ශරීර හන්දි කැඩුණු බිඳුණු අවස්ථාවලදී එහි තබා වෙලීම සඳහා උපයෝගී කොට ගනු ලබන ලෝහමය පතුරු.

තෝම්බුව

1. නා. පුද්ගල හා ආයතන සතු ඉඩකඩම් වතුපිටි පිළිබඳ විස්තර සටහන් කළ ලේඛනය.
2. නා. පුද්ගලයකුගේ පෙළපත්, පවුල්, උප්පැන්න, විවාහ මරණ ආදි විස්තර ඇතුළත් වන සේ සකස් කළ ලේඛනය.
3. නා. ජාතිය, ජන්මය පිළිබඳ වගතුග.

තෝයද

1. නා.ප්‍ර. වැහි වලාකුළ.
2. නා.ප්‍ර. ගිතෙල්.

තෝරතය

නා. (නීති.) පෞද්ගලික වරද; සිවිල් වරද.