සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 780

තොර

නා.ප්‍ර. අවසානය; කෙළවර; සමාප්තිය.
වි. වෙනස්; විශේෂ.

තොරණ

1. නා.ප්‍ර. දොරටුව; බිහිදොර; වාසල.
2. නා.ප්‍ර. මාර්ගයක් හරහා නොහොත් විවෘත ස්ථානයක මල්, ඵල ආදිය යොදා හෝ ජාතක කථා චිත්‍රයට නංවා විදුලි ආලෝක ආදිය ඇසුරින් අලංකාර ව ඉදි කරනු ලබන නිර්මාණය; ගෙඩිගෙය.
3. නා.ප්‍ර. වෙසක් පොසොන් ආදි පොහෝදිනවලදී බුද්ධ චරිතය හෝ ජාතක කතා මුල් කොට විචිත්‍රවත් චිත්‍රකර්මාන්ත හා විදුලි බුබුලින් අලංකෘත සැරසිල්ල.

තොරතුර

1. නා. ආරංචිය; ප්‍රවෘත්තිය.
2. නා. ඉඩ ප්‍රස්තාව; අවකාශය; අවස්ථාව.
3. නා. මිට.
4. නා. මිටින් දෙන පහර.
නා.ප්‍ර. ප්‍රවෘත්තිය; ආරංචිය; විස්තරය.

තොරතුරු තාක්ෂණය

නා. පරිගණක තාක්ෂණය මගින් හා අන්තර්ජාලය ඇසුරින් තොරතුරු ලබා ගැනීම.

තොරතෝංචිය

(කථා.) නා. නැවතීම; අවකාශය; විරාමය.

තොරපනය

නා. තවු විඳින වඩු උපකරණයක්; දුනු බුරුමය.

තොරොට්ටුව

(කථා.) නා. රැවටීම; වංචාව; කපටිකම.

තොරොත්තාව

නා. සෑහීම; තෘප්තිය.

තොරොම්බල්

නා.ප්‍ර. ගෙන් ගෙට ගොස විකුණන වටිනාකමින් අඩු වෙළඳ බඩු; මණිබඩු.

තොල

නා. දන්තාවරණ මස් පිඬුව; අධරය.

තොල බිඳිනවා

ක්‍රි. (නැතැයි යනු හැඟවීමට) තොල පෙරළා දක්වනවා.

තොල මතුරනවා

ක්‍රි. නොපැහැදිලි ලෙස පහත් හඬින් යමක් කියනවා; මුමුණනවා.

තොලිල

නා. ජීවනෝපාය සඳහා කරන ශිල්ප කර්මාන්තය; වෘත්තිය; රක්ෂාව.

තොලිලැදුරු

[තොලිල් + ඇදුරු]
නා.ප්‍ර. රන් රිදී ආදි ශිල්ප කර්මාන්තයෙහි නිපුණ තැනැත්තා; ශිල්පාචාර්යා.

තොලු දෙනවා

ක්‍රි. (මුව ගව ආදි සතුන්) තොලින් යමක් ස්පර්ශ කරනවා; කනවා හෝ ඉඹ බලනවා.

තොලු පත

නා. දෙතොල් පෙදෙස; හොම්බ.

තොලුකන

1. නා. එල්බෙනාකාර කන.
2. නා. යම්කිසිවක අග කෙළවර; අග්ගිස්ස.

තොලුගානවා

ක්‍රි. (මුව ගව ආදි සතුන්) තණකොළ ආදිය හෙමින් කඩාගෙන කනවා; උළාකනවා.

තොලුව

1. නා. පිස්ටන් වළලු කුලවල ඉදිරියට නෙරූ කොටස.
2. නා. (ප්‍ර.යෙදේ) ගව, ඌරු ආදි සතුන්ගේ මුවෙහි ඉදිරියට දික් ව පිහිටා ඇති දෙතලු කෙළවර.
3. නා. වැල්වල ලියලමින් ඇදෙන දලුව; කරටිය.

තොලොංචි වෙනවා

නා. තුරන් වෙනවා; දුරු වෙනවා; ඉවත් වෙනවා; නොපෙනී යනවා.

තොවිලය

1. නා. අමනුෂ්‍ය උපද්‍රව දුරලීම සඳහා කරන ශාන්ති කර්මය; දෙවියන් ද යකුන් ද පුදනු සඳහා කරන නැටුම.
2. නා. මෙහෙය.

තොස

1. නා.ප්‍ර. සතුට; සන්තෝෂය.
2. නා.ප්‍ර. තුස; දහයියා; වී පොතු.

තොහනවා

ක්‍රි. සතුටු කරනවා; තුති කරනවා.