සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 779

තොග වෙළෙන්දා

නා. විශාල ප්‍රමාණ වශයෙන් බඩු විකුණන්නා; තොග වශයෙන් වෙළඳ ද්‍රව්‍ය අලෙවි කරන්නා.

තොගය

නා. ඒකකයක් වශයෙන් සැලකෙන රාශිය; (එක් කොට සලකනු ලබන) ගොඩ.

තොච්චි කරනවා

(කථා.) ක්‍රි. මදිපුංචිකම් කරනවා; සුළු කොට සලකනවා; හෙළා දකිනවා.

තොට

1. නා. ගං හෝ මුහුද ආදි ජල තලාවකින් එගොඩ වන ස්ථානය; තොටුපළ; තීර්ථය.
2. නා. යාත්‍රා නවත්වන ස්ථානය; නැව්තොට; වරාය.
3. නා. ගඟක් මුහුදට වැටෙන ස්ථානය; මෝය.
4. නා. (නෑම, රෙදි සේදීම, දිය ගැනීම ආදිය සඳහා) දියට බසින ස්ථානය.
5. නා. වර; වාරය; වතාව.

තොට්ටම

(කථා.) නා. වන මැද පිහිටි එළිමහන් හිස් බිම.

තොට්ටමුරය

(කථා.) නා. විපත; වැරදීම; අබග්ගය.

තොටියා

නා. තොටුපළේ දී ඔරුපාරු මගින් ජනයා එතෙර මෙතෙර කරන්නා.

තොටිල්ල

නා. ළදරුවන් නිදි කරවනු සඳහා (එල්ලා) පැද්දිය හැකි ලෙස සෑදූ කුඩා කොටු යහන; ළදරුවන් නළවා නිදි කරවන පැද්දෙන කුඩා ඇඳ.

තොටු නැව

(පාරිභා.) නා. මගීන්, භාණ්ඩ, රථවාහන ආදිය ජලතලයකින් එගොඩ මෙගොඩ කිරීම සඳහා යොදන ධූම යාත්‍රාව (=ferry steamer).

තොටු මළුව

(පාරිභා.) නා. නැව්වල බඩු බෑමත් පැටවීමත් පහසු කරනු සඳහා නැව්තොටෙහි ඉදිකර ඇති ඉවුරු බැම්ම; ජැටිය.

තොටුව

1. නා. දිය කඩකට බැස එගොඩ මෙගොඩ වන තැන; පාදියමංකඩ.
2. නා. ලියැද්දක වතුර රඳා සිටින තැන.

තොටුවා

නා. (බුද්ධ ශාසනයෙන් බැහැර) මිථ්‍යාදෘෂ්ටියක් පිළිගෙන පැවිදි වූ තැනැත්තා; තීර්ථකයා.

තොඩොත්තු කරනවා

(කථා.) ක්‍රි. (හරකුන්ගේ) නාස් ලණුව කරපටියට අල්ලා තදින් බඳිනවා.

තොණ්ඩුව

1. නා. ඇදීමේදී හිරවන ආකාරයෙන් ලණු, කඹ ආදියෙන් තනා ගන්නා පුඩු රැහැනින් තැනූ වළල්ල.
2. නා. සතුන් ඇල්ලීම ආදිය සඳහා වළල්ලක් සේ සාදාගත් උගුල; මලපුඩුව; මන්ද.

තොත්ත

1. නා. අනින ආයුධයක්; හෙල්ල; තෙබ.
2. නා. පලිහ.
වි. සිඟිති; ළදරු.

තොත්තනවා

1. (කථා.) ක්‍රි. යම් කාරියක් හරියාකාර ව නොකර යන්තමින් කරනවා; ඕනෑවට එපාවට කරනවා.
2. ක්‍රි. බැම්මක් බුරුලට බඳිනවා; යන්තමට ගැට ගසනවා.

තොත්තුව

නා. හාද්ද; සිඹීම; චුම්බනය.

තොන්ගු

1. නා.ප්‍ර. එල්බ සිටීම; ආලම්බක ව සිටීම; තනි පයින් සිටීම.
2. නා.ප්‍ර. ඉක්මන්වීම; කලබලවීම; කුලප්පුවීම.
3. නා.ප්‍ර. පරලවීම; ආවේශවීම.

තොඳොල්

වි. (වචන සම්බන්ධයෙන් යෙදේ) සුරතල්; බොළඳ.

තොප්පාරම

නා. හිස් වෙළුම; ජටාව; තලප්පාව; උඩරට රදළවරුන්ගේ හිස්වැස්ම.

තොප්පිය

1. නා. හිස් වෙළුම; ජටාව; නළල් පට.
2. නා. හිස් වැස්ම; ශීර්ෂාවරණය.

තොමනයා

නා. අදක්ෂයා; මෝඩයා.

තොමරි

(කථා.) (උඩ.) වි. සෝමාරි; අලස; කම්මැළි.

තොම්බ

නා. නාසය හා දෙතොල් ඇතුළු මුඛයේ ඉදිරි කොටස; හොම්බ.

තොය

නා. දිය; ජලය; වතුර.