සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 814

දාගබඟණ

නා. දාගබක් වටා සකස් කර ඇති භූමි භාගය හෙවත් අංගණය.

දාගල

නා. මිරිස් ආදි කුළුබඩු ඇඹරිමට යොදාගන්නා ගල; ඇඹරුම්ගල.

දාගැබ් කැරැල්ල

නා. දාගැබේ කොත පිහිටි කොටස; කොත් කැරැල්ල.

දාච්ච

වි. දා ගිය, දැවුණු; පිළිස්සුණු.

දාඨා ධාතුව

නා. දන්ත ධාතූන් වහන්සේ.

දාතම

නා. දිනය; දවස.

දාතව්‍ය

1. නා.ප්‍ර. දිය යුත්ත.
2. (දර්ශන.) නා.ප්‍ර. දන් පිළිගැනීමට සුදුසු තැනැත්තා.

දාත්ත

නා. දෑකැත්ත.

දාතැන්

නා.ප්‍ර. ජාතක කළ තැනැත්තා; පිළිසිඳ ගැනීමට සහාය වූ තැනැත්තා; පියා.

දාතෘ

නා. දෙන තැනැත්තා.

දාදු

නා. එකේ සිට හය දක්වා අගය දැක්වෙන සටහන් ඇති පැති හයේ ලී කැටයක් සහිත පෙතක් ආධාරයෙන් කරනු ලබන ගෘහ ක්‍රීඩාවක්.

දාන උපපාරමිතාව

නා.ප්‍ර. බුදුබව පතා ස්වකීය ශරීරාවයව පරිත්‍යාගය ආශ්‍රිත පාරමිතාව.

දාන ක්ෂේත්‍රය

නා. තුනුරුවන් උදෙසා පිදූ කුඹුර හෝ ඉඩම; භික්ෂූන් වහන්සේලාගේ ප්‍රයෝජනය සඳහා පරිත්‍යාගයක් වශයෙන් දුන් කුඹුර හෝ ඉඩම.

දාන දාසයා

නා. තමා රසවත්දේ අනුභව කොට අන්‍යයන්ට නීරස දෙය දෙන්නා;- ත්‍රිවිධ දායකයන් අතුරින් එක් වර්ගයක්.

දාන ධර්මය

නා. දන් දීමෙහි චර්යාව; පරිත්‍යාගී ක්‍රියාව.

දාන පථය

නා. දන්දීමේ පිළිවෙළ; පරිත්‍යාග පවත්වාගෙන යන ක්‍රමය; දාන පරිපාටිය.

දාන ප්‍රවේණිය

නා. කාලයක් මුළුල්ලේ පැවතෙන දන් පිළිවෙළ; දාන පරම්පරාව; දන් වැට.

දාන පාරමිතාව

නා. දන් දීමෙන් පුරන පාරමිතාව.

දාන වෘත්තය

නා. නොකඩවා දෙන දන් පිළිවෙළ.

දාන ශාලාව

1. නා. දන් දෙන ශාලාව.
2. නා. භික්ෂූන් දන් වළඳන ශාලාව.

දාන සංවිභාගය

නා. තමා වැළඳිය යුතු දැයින් පවා අනුනට බෙදා දීම; තමා ලත් කොටස බෙදා දීම.

දාන සම්පත්තිය

නා. දීම නිසා හටගත් සොම්නස හෙවත් සැපත.

දානපතියා

1. නා. දීමෙහි ප්‍රමුඛත්වය ලත් තැනැත්තා; මහත්සේ පරිත්‍යාගයෙහි යෙදෙන්නා.
2. නා. තමන් පරිභෝග කරනවාට වඩා උසස් ලෙස පරිත්‍යාග කරන තැනැත්තා.
3. නා. තමාට යම්තමක් තබාගෙන හොඳ දේ අනුන්ට දෙන තැනැත්තා.