සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 813

ද්‍රාවණය

(පාරිභා.) නා. (රසා.) යම් ද්‍රව්‍යයක් ද්‍රාවයක දිය කළ විට සෑදෙන මිශ්‍රණය (=solution).

ද්‍රාව්‍ය

වි. දියවනසුලු; දිය කළ හැකි.

ද්‍රාව්‍යය

(පාරිභා.) නා. ද්‍රාවකයක දිය කරනු ලැබූ ද්‍රාව්‍යය (=solute).

ද්‍රාවිත

1. (පාරිභා.) වි. ජලයෙහි දිය වූ; දියරබවට පත් වූ
2. වි. දියවන; දියර බවට පත් කළ හැකි; ජලයෙහි ද්‍රාවණය වූ.

ද්‍රැත

වි. වේගවත්; ඉක්මන්; ශීඝ්‍ර.

ද්‍රැමය

නා. ගස; වෘක්ෂය; රුක; තුර.

ද්‍රැමේන්ද්‍රයා

නා. වෘක්ෂරාජයා; දුමිඳු; බෝධිවෘක්ෂය.

ද්‍රෝණ

1. නා.ප්‍ර. ධාන්‍ය මැනීමේ මිම්මක්; ද්‍රෝණය. කුරුණිය.
2. නා.ප්‍ර. මුහුදු ලුණු.
3. නා.ප්‍ර. සඳුන් වර්ගයක්.

ද්‍රෝණිකාව

1. නා. බේසම් කොරොස් ආදියක හැඩය ඇති බඳුන.
2. නා. දිගට විහිදී ගිය පටු අවපාතය; දෙකිඳ.

ද්‍රෝණිය

1. නා. විශාල භාජනය; සැළියක් බඳු බඳුන; කටාහය.
2. නා. මිනී පෙට්ටිය; දෙණ.
3. නා. ගංගා ආශ්‍රිත ව පිහිටි පහත් තැනිතලාව; දෙණිය.
4. නා. ඔරුව; බෝට්ටුව.
5. නා. ධාන්‍යාදිය මැනීමට භාවිත වූ ද්‍රෝණ හතරක ප්‍රමාණයේ පුරාණ මිම්මක්.

ද්‍රෝහ

වි. විරුද්ධ; සතුරු; එදිරිවාදි.

ද්‍රෝහියා

නා. ද්‍රෝහිබව පාන්නා; ද්‍රෝහි කටයුතුවල යෙදෙන්නා; ස්වකීය මිත්‍රයකුට, ජාතියට, රටට, මෙහෙවරට විරුද්ධ වූ, සතුරු වූ තැනැත්තා.

දා

1. නා.ප්‍ර. චක්‍රවාටය; සක්වළ.
2. නා.ප්‍ර. බුද්ධාදි උතුමන්ගේ ශරීරයෙහි පූජනීය වශයෙන් සැලකෙන ඇතැම් කොටස්; අකු දා; කෙස් දා ආදිය.
3. නා.ප්‍ර. බුදුන් වහන්සේගේ පෙර ආත්මභාවයන් පිළිබඳ විස්තර කථාව; ජාතක කථාව.
4. නා.ප්‍ර. පූජාව; වැඳීම.
5. නා.ප්‍ර. දවස; දිනය.
6. නා.ප්‍ර. ආඛ්‍යාත පදවල ප්‍රකෘතිය.
7. නා.ප්‍ර. හුය; නූල.
8. නා.ප්‍ර. තෑග්ග.
9. නා.ප්‍ර. රෙද්දෙහි කෙළවර; වාටිය.
10. නා.ප්‍ර. මීමැස්සා.
1. වි. උපන්; හටගත්.
2. වි. දෙන්නා වූ දායක.

දා කරනවා

ක්‍රි. ජනිත කරනවා; උපදවනවා.

දා කෙළිය

නා. උත්සවාකාරයෙන් සිදු කෙරෙන ධාතු පූජාව.

දා ගන්නවා

ක්‍රි. ධාන්‍ය නෙළා ගන්නවා.

දා ගසනවා

ක්‍රි. ඇඹරුම්ගලින් අඹරනවා.

දා ගෙය

1. නා. බුද්ධාදි උතුමන්ගේ ධාතු තැන්පත් කොට තැනූ ගෙය.
2. නා. චෛත්‍ය වසා සිටින සේ කළ ගෘහය; වටදාගෙය.

දාං

නා.ප්‍ර. කොටු සහිත පෙතක් මත ඉත්තන් දුවවමින් දෙ දෙනකුට යෙදිය හැකි ගෘහ ක්‍රීඩාවක්.

දාංගලය

නා. දඟකාර ස්වභාවය; නොසන්සුන් ගතිය.

දාකන්

1. නා.ප්‍ර. වස්ත්‍රයෙහි කෙළවර; රෙද්දෙහි වාටිය.
2. නා.ප්‍ර. කනෙහි පලඳින ආභරණ විශේෂයක්.

දාක්ෂිණබන්ධ

නා.ප්‍ර. (දර්ශන.) දෙව් මිනිසුන් පිළිබඳ ව දක්ෂිණා දීම් පවත්නා අනුරාගය.

දාක්ෂිණ්‍යය

1. නා. කාරුණික ව අවනත වන ස්වභාවය; අනුකූලතාව; මුදු මොළොක්බව; ත්‍යාගශීලීබව.
2. නා. දක්ෂභාවය.

දාකුස

නා. සර්වඥ ධාතු ආදි පූජනීය වස්තු නිදන් කරනු ලබන ගර්භය; ධාතු ගර්භය.

දාගබ

නා. ධාතු ගර්භය; සෑය; බුදු පසේ බුදු රහත් ආදින්ගේ ධාතු නිදන් කර තැනූ ගොඩනැගිලි විශේෂය; චෛත්‍යය.