සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 843

දිවුරුම් කොමසාරිස්

නා.ප්‍ර. දිවුරුම්පත්‍ර ආදිය සහතික කිරීම සඳහා අධිකරණ සේවා කොමිසම විසින් පත් කරනු ලබන නිලධාරියෙක්.

දිවුරුම් පත්‍රය

නා. (නීති.) දිවුරුම් කොමසාරිස්වරයකුගේ සහතිකය සහිතව දිවුරුම් දෙන්නකු කරන ලිඛිත ප්‍රකාශය.

දිවුරුම් පෙත්සම

නා. නීතියෙන් බලයලත් අයකු ඉදිරියේ දිවුරා සහතික කොට අත්සන් කරන ප්‍රකාශය; දිවුරුම් පත්‍රය.

දිවුරුම් සාක්ෂිය

නා. (නීති.) සත්‍යය ම ප්‍රකාශ කරන බවට දිවුරීමෙන් පසු උසාවියේදී දෙන සාක්ෂ්‍යය.

දිවුල්

1. නා.ප්‍ර. සේද නූලෙන් සියුම්, සිනිඳු වස්ත්‍ර වර්ගයක්; දුහුල.
2. නා.ප්‍ර. සුදු තද කට්ටක් සහිත වියළි කලාපික පලතුරු වර්ගයක්; ජූල්.

දිවෙල

1. නා. දිවි පැවැත්ම; ජීවිකාව; ජීවත් වීම.
2. නා. ජීවත් වීම සඳහා කරන වෘත්තිය; ජීවනෝපාය; ජීවන වෘත්තිය.
3. නා. ජීවිකාව ගෙන යෑම සඳහා යම්කිසි මෙහෙයක් වෙනුවෙන් දෙන ලද ගම් බිම් හෙවත් භෝග ග්‍රාම, තෑගි බෝග ආදිය.
4. සුළු බද්දක් ගෙන වගා කිරීමට දෙන ඉඩම.
5. ජීවිකාව ගෙන යෑම සඳහා දෙනු ලබන දීමනාව.

දිශා දර්ශකය

නා. දිසාව පෙන්නුම් කරන කාන්දම් කටුවක් සහිත උපකරණය; මාලිමා යන්ත්‍රය; කොම්පාසුව.

දිශාචාරක

වි. ඒ ඒ දිශාවල සැරිසරන; තැන තැන ඇවිදින.

දිශානත

(පාරිභා.) වි. දිසාවකට යොමු වූ ( =directional).

දිශාන්තරය

නා. දිශාව; දික්භාගය; දිගන්තරය.

දිශාපරිවර්තක

(පාරිභා.) නා.ප්‍ර. විදුලි ධාරාවේ දිසාව වෙනස් කරන උපකරණය (=commutator).

දිශාලක්ෂ්‍ය

(පාරිභා.) නා.ප්‍ර. ප්‍රධාන දිසා හතර (=cardinal points).

දිශාව

නා. පැත්ත; දිසාව.

දිශාසූචකය

(පාරිභා.) නා. දිශාව දක්වන්න; දිසාව පෙන්වන කටුව; සලකුණ (=direction finder).

දිෂ්ට

වි. යොමු කරන ලද; දක්වන ලද; පෙන්නුම් කරන ලද.

දිෂ්ටය

නා. සිදුවිය යුතු දෙය; දෛවය; ඉරණම.

දිෂ්ටිය

1. නා. බැල්ම; අමනුෂ්‍ය බැල්ම; (මිනිසුන්ට ආරූඪ වන) අමනුෂ්‍යාවේශය.
2. නා. (පේන කීම ආදිය සඳහා අමනුෂ්‍ය දිෂ්ටිය ලබා ගැනීමට මතුරන) මන්ත්‍රය; දිෂ්ටි මන්ත්‍රය.
3. (කථා.) නා. බැබළීම; කාන්තිය.

දිසසර

නා.ප්‍ර. දියෙහි හැසිරෙන්නා වන මත්ස්‍යයා.

දිස් වෙනවා

ක්‍රි. පෙනෙනවා; දර්ශනය වෙනවා.

දිස්ත්‍රික් උසාවිය

නා. ඒ ඒ දිස්ත්‍රික්කයට අයත් ප්‍රදේශය තුළ ඇතැම් නඩු විසඳන උසාවිය; දිසාධිකරණය.

දිස්ත්‍රික්කය

නා. පළාතක් පරිපාලන වශයෙන් බෙදා ඇති ප්‍රධාන ඒකකය; දිසාව.

දිස්නය

1. නා. දිලිසීම; බැබලීම; කාන්තිය; ඔපය.
2. නා. රශ්මිය.
3. නා. මැටි, දැව ආදියෙන් කළ භාණ්ඩවලට ඔපයක් ලබාදීම පිණිස ඒවා මතුපිට ගෑමෙන් පසු ආලෝක පරාවර්තන භාවයට (කාච) පත්වන ආලේප විශේෂයක් ( =glaze)

දිසානා

නා.ප්‍ර. දිසාවට ප්‍රධානයා; දිසානායකයා.

දිසානුදිසා

නා.ප්‍ර. දිසාවට ප්‍රධානයා; දිසානායකයා.
නා.ප්‍ර. ප්‍රධාන දිසා සතර සහ අනු දිසා සතර.