සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 844

දිසාපති

නා.ප්‍ර. දිසාවක, දිස්ත්‍රික්කයක පාලනය භාර ප්‍රධාන රාජ්‍ය නිලධාරයා; දිසා ප්‍රධානයා; ආණ්ඩුවේ ඒජන්ත; ප්‍රාදේශීය ලේකම්.

දිසාපාමොක් ආචාර්ය

නා.ප්‍ර. පැරණි දඹදිව ප්‍රකට ශාස්ත්‍ර පීඨයක ප්‍රධාන ආචාර්යවරයා.

දිසාව

1. නා. (උතුර, දකුණ ආදි) පැත්ත; දිශාව; දිග්භාගය.
2. නා. උඩරට රාජධානියේ ප්‍රධාන පාලන කොට්ඨාස ඒකකයක්; දිසාව හෙවත් දිසාපති විසින් පාලිත ප්‍රදේශය; දිසාවනිය; පළාත.
3. නා. දිසාවක ප්‍රධාන පාලකයා; දිසාපති.

දිසුව

(කථා.) නා. ඉඩ පහසුව; ඉවරය; නිවාඩුව; නිස්කාසුව.

දිසෙනවා

ක්‍රි. ඇසට ලක් වෙනවා; පෙනෙනවා; දෘශ්‍යමාන වෙනවා.

දිහාව

1. නා. දිසාව; දෙස; පැත්ත.
2. (කථා.) නා. ගෙදර; නිවහන.

දිහිය

නා. දීකිරි; මුදවාපු කිරි.

දිළින්දා

නා. දුප්පත් තැනැත්තා; දුගියා; අසරණයා.

දිළිඳු

වි. දුප්පත්; ධනය නැති; සැප සම්පත් නැති.

දී

1. නා.ප්‍ර. දී කිරි; කැටි ගැසුණු ගව කිරි; මිදුණු කිරි.
2. නා.ප්‍ර. වතුර; ජලය.
3. නා.ප්‍ර. භාජනය.

දීකිරි

[දී + කිරි]
1. නා. මිදුණු කිරි.
2. නා. පොල් දෙවෙනි වරට මිරිකා ලබා ගන්නා කිරි; දියකිරි.

දීග කනවා

ක්‍රි. විවාපත් ව පවුල් ජීවිතය ගත කරනවා.

දීග දෙනවා

ක්‍රි. දියණියක් විවාහ කර දෙනවා.

දීගන්නවා

1. ක්‍රි. දෙනවා; පිළි ගන්වනවා; පූජා කරනවා.
2. (කථා.) ක්‍රි. පහර දී ගන්නවා; ගුටි බැට හුවමාරු කරගන්නවා.

දීගය

නා. සරණ බන්ධනයට පත් ස්ත්‍රියක ස්වාමිපුරුෂයාගේ ගෙදර පදිංචියට යෑම.

දීණ

නා.ප්‍ර. දියුණුව; ද්විගුණය; දෙගුණය.

දීධිති

නා.ප්‍ර. කාන්තිය; රශ්මිය; අලෝකය; බැබළීම; ප්‍රභාවය.

දීන

1. වි. නිවට; නියාලු; පහත්.
2. වි. දුකට පත්; බැගෑපත්;
3. වි. කලකිරුණු; උකටලී
4. වි. චීන ජාතික; චීනයට අයත්.
5. වි. තියුණු; තීක්ෂ්ණ; සියුම්.
6. වි. නපුරු; රෞද්‍ර.

දීන පුටුව

නා. අත් තබා ගැනීම පිණිස දෙපස ඇඳි ඇති පුටුව; හාන්සි පුටුව.

දීනනුවණ

නා.ප්‍ර. තියුණු නුවණ; සියුම් දැනුම; සූක්ෂ්ම ඥානය.

දීනයා

1. නා. නිවටයා; නියාලු තැනැත්තා; නිස්තේජස්කයා.
2. නා. බැගෑපත් තැනැත්තා; දුක්ඛිතයා; පීඩිතයා.

දීප

1. නා.ප්‍ර. රට; දේශය; රාජ්‍යය.
2. නා.ප්‍ර. පහන; ප්‍රදීපය.

දීප බලය

නා. විදුලි පහනක ආලෝක ශක්තිය විසර්ජනය වන ශීඝ්‍රතාව; වොට් අගය (=candle power)

දීප විලෝකනය

නා. (බුදු වීම සඳහා) ඉපදීම සුදුසු කවර දීපයේ දැයි දිවැසින් විමසා බැලීම; බෝධිසත්වයන් බුදු වන අන්තිම ආත්මභාවයේදී බලන පංච මහා විලෝකනවලින් එකක්.