සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 845

දීපක

වි. දක්වන; දල්වන; ඉදිරිපත් කරන; බබළවන.

දීපකය

නා. ආලෝකය නිකුත් කරන තැන; එළිය විහිදුවන දෙය; ප්‍රදීපය.

දීපද

වි. දෙපා ඇති; පාද දෙකක් සහිත.

දීපන

1. වි. බඩගින්න වඩන; කුසගින්න වැඩි කරන; ආහාර රුවිය. වර්ධනය කරන.
2. වි. දල්වන; ජ්වලිත කරන.
3. වි. (අරුත් ආදිය) පැහැදිලි කරන; විස්තර කරන.

දීපනය

1. නා. දැල්වීම; ඇවිලීම; ජ්වලනය.
2. නා. පැහැදිලි කිරීම; විස්තර කිරීම.
3. නා. කුසගින්න වැඩි දියුණු කිරීම.

දීපනීය

වි. ආහාර පැසවීමේ ශක්තිය ඇති කරන; ආහාර රුචිය වඩන.
1. නා. ආහාර පැසවීමේ ශක්තිය ඇති කරන දෙය.
2. නා. (අරුත් ආදිය) පැහැදිලි කිරීම; විවරණය; ව්‍යාඛ්‍යානය.

දීපශිඛාව

නා. පහන් සිළුව; පාන් දැල්ල.

දීපස්තම්බය

නා. පහන් කණුව; පහන් කුලුන; ප්‍රදීප ස්තම්භය.

දීප්ත

වි. ආලෝකය නිකුත් කරන; එළිය විහිදෙන; දීප්තිමත්.

දීප්තිමත්

වි. ආලෝකය විහිදුවන; බබළන; දිලිසෙන; දිස්න දෙන.

දීප්තිමානය

(පාරිභා.) නා. ප්‍රභව දෙකක ආලෝකයේ තීව්‍රතා සැසඳීමේ උපකරණයක් (=photometry)

දීප්තිය

1. නා. ආලෝකය නිකුත් කිරීම; බැබලීම; දිලිසුම; උජ්ජවලනය.
2. නා. ලාකිරි; ලාකඩ.

දීප්‍ය

වි. එළිය කළ යුතු; දීපනීය.

දීපාග්නි කරනවා

ක්‍රි. පහනක් දල්වා ඇල්ලීමෙන් රත් කරනවා; පහන් සිළුවෙන් තරමකට උණුහම් කරනවා.

දීපාවලී

නා.ප්‍ර. හින්දු භක්තිකයන් දෙවියන් උදෙසා පවත්වන වාර්ෂික ආලෝක පූජාව.

දීපිකාව

(පාරිභා.) නා. කුඩා දූපත; දූව.

දීපිත

වි. පැහැදිලි කරන ලද; ප්‍රකාශ කරන ලද; විස්තර කරන ලද.

දීපෙරලි දිය

නා. මිදුණු කිරෙන් පෙරා ගත් ජලය; දී කිරෙන් පෙරූ දිය.

දීමන

නා. ප්‍රදානය; දීමනාව.

දීමනාව

1. නා. තෑග්ග; ප්‍රදානය.
2. නා. වියදම් පිරිමසා ගැනීම සඳහා ගෙවන මුදල්; වේතනය; ප්‍රතිභාගය (=allowance)

දීමනු

වි. ජීවත් ව සිටින; ජීවමාන.

දීර

1. වි. දක්ෂ; ශූර; ක්‍රියාශීලි.
2. වි. නිර්භීත; ධෛර්ය සම්පන්න; පරාක්‍රමයෙන් යුක්ත; ධීර.
3. වි. බුද්ධිමත්; නැණවත්.

දීර්ඝ

1. වි. කෙටි නොවන; දිග; ආයත.
2. වි. දිගු කලක් පවන්නා.
3. වි. මාත්‍රා දෙකකින් යුක්ත; ගුරු.

දීර්ඝ ජඞ්ගයා

1. නා. ඔටුවා
2. නා. කොකා.