සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 846

දීර්ඝ ජාතියා

නා. දිග ශරීරයක් ඇත්තා වන සර්පයා.

දීර්ඝ දෘෂ්ටිය

1. නා. දුර දිග දැකීම; දුර දක්නා නුවණ; දූරදර්ශී ඥානය.
2. නා. දෘෂ්ටි ආබාධයක්.

දීර්ඝ ප්‍රණාමය

නා. බිම දිගා වී කරන නමස්කාරය; දණ්ඩ නමස්කාරය.

දීර්ඝකරණය

(පාරිභා.) නා. දිගු බවට පත් කිරීම; දික් කිරීම (=elongation)

දීර්ඝකාව

නා. දිගැටි හැඩයට තැනුණු පොකුණ; දිග්විල; ගෙදිගුවිල.

දීර්ඝච්ඡේදය

නා. දික් කැපුම; දිග අතට කරන ඉරුම.

දීර්ඝනාද

නා.ප්‍ර. හක්ගෙඩිය; ශඞ්ඛය.

දීර්ඝනිද්‍රාව

1. නා.ප්‍ර. බොහෝ කල් නිදා ගැනීම.
2. නා.ප්‍ර. මරණය.

දීර්ඝය

1. නා. එක ලක්ෂ්‍යයක සිට තවත් ලක්ෂ්‍යයකට ඇති දුර ප්‍රමාණය; ආයාමය; දුර බව.
2. නා. දීර්ඝ වූ ස්වරය.

දීර්ඝාක්ෂිය

නා. දිගැසිය; දික් ඇස් ඇත්තී; කාන්තාව.

දීර්ඝායත

වි. හැඩයෙන් දික් වූ; දිගැටි.

දීර්ඝායු

නා.ප්‍ර. දික් වූ ජීවන කාලය; දිගු කල් ජීවත් වීම.

දීසිය

නා. කෑම වර්ග දැමීම සඳහා මැටි, වීදුරු, ලෝහාදියෙන් තනා ඇති නොගැඹුරු කට පළල් භාජන විශේෂයක්.

දු

නා. සමුච්චයාර්ථයෙහි, අවධාරණයෙහි, ප්‍රශ්නාර්ථයෙහි යෙදේ.
උ. දුෂ්කර, අධම, සදොස්, අල්ප, දුෂ්ට, නොමනා ආදි අර්ථවල යෙදේ.

දුං කරත්තය

නා. වාෂ්ප බලයෙන් ධාවනය වන හෙයින් මුල දී දුම්රියට යෙදූ ව්‍යවහාරයකි.

දුංකොළ

නා.ප්‍ර. දුම් ගසේ කොළ; දුම්වැටි නිෂ්පාදනයට ගන්නා මූලික ද්‍රව්‍යයක්; මේවා බුලත්විට සඳහා ද ගනු ලැබේ.

දුංකෝව

නා. දුම්බීම සඳහා පාවිච්චි කරන පයිප්පය; දුම්කොළ පයිප්පය.

දුඃඛ

නා.ප්‍ර. කායික හා මානසික පීඩන නිසා ඇති වන වේදනා සහගත හැඟීම්; දොම්නස්.

දුඃස්‍රාවී

(පාරිභා.) වි. ඇලෙනසුලු (=viscous).

දුකඳුරු

[දුක + අඳුර]
නා.ප්‍ර. දුක් නමැති අඳුර; දුඃඛාන්ධකාරය.

දුකම්

නා.ප්‍ර. දුෂ්ට ක්‍රියාව; සතුරුකම.

දුකය

නා. දෙක බැගින් ඇති සමූහය; යුග්මය; ද්වීකය.

දුකර

වි. කරන්නට අමාරු; අපහසු; දුෂ්කර.

දුක් ගන්නා රාල

වි. මෑත සිංහල රාජ්‍ය සමයේ දී රජුට පෞද්ගලික ව සේවය කළ නිලධාරියෙක්; ඔම්බුඩ්ස්මන්.