සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 871

දෙව්මව්

නා.ප්‍ර. ක්‍රිස්තුස් වහන්සේගේ මෑණියෝ; දේවමාතාව; කන්‍යාමරියතුමිය.

දෙව්ලොව

නා. දෙවියන් වසන ලෝකය; දිව්‍යලෝකය; සුරලොව.

දෙව්සත්හල

නා. (ක්‍රිස්ති.) ක්‍රිස්තියානි පූජකවරුන් වීමට කැමති දරුවන් පුහුණු කරන සහ ඔවුන්ට අධ්‍යාපනය ලබාදෙන ආයතනය.

දෙව්සිරි

නා.ප්‍ර. දෙවියන් විඳින සැපත; දිව්‍යමය ඓශ්චර්යය.

දෙවාරන්න

1. වි. පාට දෙකකින් යුත්; වර්ණ දෙකකින් සමන්විත.
2. වි. තීරණයකට බැස නොගත්; සැක සහිත.

දෙවාරාව

1. (කථා.) නා. කඳු දෙකක අතර පිහිටි දිය සීරාවෙන් යුතු පහත් බිම.
2. නා. වරින් වර මාරු වීම; වරෙක එක් අතකටත්, නැවත අනෙක් අතටත් හැරීම.

දෙවැනිය

නා. භාර්යාව; බිරිය; දුයිතිකාව.

දෙවි

වි. දෙවියන්ට සම්බන්ධ; දිව්‍ය.
නා. දෙවියා; දේවතාවා.

දෙවිඳු

1. නා.ප්‍ර. දෙවියන්ගේ රජ; දේවේන්ද්‍රයා; සක්දෙව් රජ.
2. (ක්‍රිස්ති.) නා.ප්‍ර. ශ්‍රේෂ්ඨතම වූත් ප්‍රබල වූත් දේවෝත්තමයා; දෙවියන් වහන්සේ.

දෙවිඳුසැව්

නා.ප්‍ර. දෙව් දුන්න; දේදුන්න; ඉන්ද්‍රචාපය.

දෙවියන් වහන්සේ

නා.බහු. ගෞරව (ක්‍රිස්ති.) ස්වර්ගයෙහි වැඩ වෙසෙතියි සැලකෙන සර්වබල ධාරින් වහන්සේ; මැවුම්කරු.

දෙවියා

1. නා. දෙව්ලොව උපන් තැනැත්තා; දිව්‍ය පුත්‍රයා.
2. නා. දෙවි බවට පත් වූ හෝ නිර්මිත වූ හෝ පුද්ගලයා.
3. නා. (ගස් ගල් ආදියෙහි වසතැයි අදහන තළාටු භූමාටු ආදි) අල්පේශාඛ්‍ය දේවතාවා.
4. නා. රජ; නරශ්‍රේෂ්ඨයා.
5. නා. දේවත්වයෙන් සලකනු ලබන වස්තුව.

දෙවෙනි ගමන

නා. (කථා.) විවාහ මංගල්‍යයකින් පසු ව මනාලියගේ නෑදෑ පිරිස මනාලයාගේ නිවසට යන පළමු ගමන; ඉසදියට යෑම.

දෙවෙනි දවාල

නා. දවාලෙනුත් දවාල; මහදවල්; මධ්‍යාහ්නය.

දෙවෙස්

නා.ප්‍ර. එදිරිය; ද්වේෂය; වෛරය; ක්‍රෝධය.

දෙවොල

නා. දෙවියන් සඳහා වෙන් කොට ඇති ගෘහය; දේව ප්‍රතිමාව තැන්පත් කොට ඇති ස්ථානය; දේවාලය.

දෙවොල්

නා. ශ්‍රී ලංකාවෙහි විශේෂයෙන්, නිරිත දිග වෙරළ තීරුවෙහි පුද පූජාවට පත් වන දෙවියෙක්.
වි. දෙවියන්ට අයත්; දෙවියන් වසන.

දෙවොල් නැටීම

1. නා. දෙවොල් දේවාලවල ඒ දෙවි කෙරෙහි වාර්ෂික ව කරනු ලබන නැටුම් ඇතුළු යාතු කර්මය.
2. නා. දේවාලවල කරනු ලබන එවන් කටයුතු.

දෙවොල් පත්තිනි

නා. සත් පත්තිනි අම්මාවරුන් අතරින් එක් අම්මා කෙනෙක්.

දෙවොල් පූනාව

නා. පූජා භාජන විශේෂයක්; දෙවියන් ඉදිරියේ නිර්දෝෂත්වය ඔප්පු කිරිම සඳහා කොටි ඔළු හැඩයෙන්ද නයිපෙණ වැනි කෙමි දොළොසකින් ද යුක්ත ව මැටියෙන් සාදා ගැනෙන කොතලය.

දෙවොල් බඳිනවා

(කථා.) ක්‍රි. දෙවියන් ඉදිරියේ සිට සතුරකුට ශාප කරනවා.

දෙවොල් මඩුව

1. නා. දෙවියන් යකුන් සතුටු කිරීම් වස් පවත්වන දේවපූජා ශාන්ති කර්මයක්.
2. (කථා.) නා. දෙවොල් දෙවියාට හෝ යකාට පුද දෙන මඩුව; දෙවොල් සෙත් ශාන්තිය කරන මඩුව.

දෙවොල් යකා

නා. අයහපත් සිදුවීම් සහ කටයුතු ආශ්‍රිත යකෙක්.

දෙවොල් යදිනවා

ක්‍රි. දෙවියන් වෙත කන්නලවු කරනවා.