සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 870

දෙරැස

1. නා. ගොඩවල් දෙක; පිරිස් දෙක.
2. (ජ්‍යෝති.) නා. ග්‍රහ රාශි දෙක.

දෙරූ

නා.ප්‍ර. (ව්‍යාක.) අකුරක් හෝ පදයක් දෙකක් බවට පත්වීමේ වියරණ විධිය; ද්විත්ව රූපය.

දෙලහෙනවා

ක්‍රි. තැවෙනවා; සිත් තැවුලට පත් වෙනවා; උද්වේගයක් ඇති වෙනවා.

දෙලොව

නා. මෙලොව හා පරලොව යන ලෝක දෙක; වර්තමාන ජන්මය සහ මරණින් මතු ජන්මය.

දෙවංගිය

නා. වාර දෙක; දෙවතාව; දෙවිට.

දෙවක

නා. වක්‍ර දෙක; නැමුම් දෙක; වංගු දෙක.

දෙවඟන

නා. දිව්‍ය ස්ත්‍රිය; දිව්‍ය කාන්තාව; දෙව්ලිය; දිව්‍යාඞ්ගනාව.

දෙවට

1. නා. වාර දෙක; ද්වාරය.
2. නා. දෙපැත්තේ වැටවල් දෙකක් සහිත පාර; වැට දෙකකින් මායිම් වූ පටු මාවත; දෙවැට.

දෙවනත

නා. දෙපැත්ත; දෙපස; උභය පාර්ශ්වය.

දෙවනත් කරනවා

1. නා. කලබලකාරි තත්ත්වයක් ඇති කරනවා; ආන්දෝලනයක් ඇති කරනවා.
2. නා. කඩා බිඳ ගෙන යනවා.

දෙවන්මිණ

නා. දෙවියන්ගේ මාණික්‍යය; සිතු පැතු සම්පත් සාදා දෙන මැණික; චිත්තා මාණික්‍යය; සිතුමිණ.

දෙවඹු

නා.ප්‍ර. දිව්‍යාඞ්ගනාව; දිව්‍ය ස්ත්‍රිය; දෙවඟන; දෙව්ලිය.

දෙවරුව

නා. දහවල් කාලයේ හෝ රාත්‍රී කාලයේ වරු දෙක; පෙරවරුව හා පස්වරුව.

දෙවලය

1. නා. සැකය; සංකාව.
2. නා. දෙවන වතාව
3. නා. යුගලය; යුග්මය.
4. නා. පටවල් දෙක.

දෙව්

1. නා. දෙවියා; දිව්‍යමය උත්පත්තියක් ඇත්තා.
2. නා. අහස; ආකාශය; නුබ.
3. නා. වලාකුළ; මේඝකූටය; මේකුළ.
වි. දෙවියන්ට අයත්; දිව්‍ය.

දෙව් අසර

නා. දිව්‍ය අප්සරාව; දිව්‍ය ස්ත්‍රිය; දෙවඟන.

දෙව් කෙළිය

නා. දෙවියන් උදෙසා පැවැත්වෙන පූජෝත්සවය; දේව පුද පෙරහර.

දෙව් මැදුර

නා. ක්‍රිස්තියානි පල්ලිය; දේවස්ථානය; දේව මන්දිරය.

දෙව්තුර

නා. දිව්‍ය ලෝකයේ ඇතැයි දැක්වෙන සිතු පැතු සම්පත් ලබා දෙන ගස; කල්ප වෘක්ෂය; කප්රුක.

දෙව්තුරු

නා.ප්‍ර. දෙවියන්ගේ ගුරුවරයා; සුරගුරු; සුර ඇදුරු; බෘහස්පති.

දෙව්දුව

නා. දිව්‍යාඞ්ගනාව; දෙව්ලිය.

දෙව්දෙන

නා. දෙව්ලොව වසන සිතු පැතූදේ ලබා දෙතියි සැලකෙන ගව දෙන; සුරභිධේනුව; ගවඟන.

දෙව්බස්

නා.ප්‍ර. සංස්කෘත භාෂාව; දේව භාෂාව; දෛවි භාෂාව,

දෙව්මඟ

නා. අහස් මඟ; ආකාශය; ගුවන.