සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 872

දෙවොල් රුක

නා. දෙවියන්ගේ හා යක්ෂයන්ගේ විමාන බවට පත් ගස.

දෙස

1. නා. දේශය; රටක ජනපදය; ප්‍රදේශය.
2. නා. කොටස; භාගය; කඩ.
3. නා. පැත්ත; දිශාව.
4. නා. යමක් ඔප්පු කිරීම සඳහා ඉදිරිපත් කරන කරුණ; සාක්ෂ්‍යය; සාක්කිය.
5. නා. ධර්මදේශනය.

දෙසනවා

1. ක්‍රි. කියනවා; වදාරනවා; දේශනා කරනවා.
2. ක්‍රි. දොස් කියනවා; බණිනවා.
3. (කථා.) ක්‍රි. බඩකට පිරෙන්නට කනවා; හිතේ හැටියට අනුභව කරනවා.

දෙස් කියනවා

1. ක්‍රි. සාක්ෂි කියනවා; සත්‍ය බවට කරුණු දක්වනවා.
2. ක්‍රි. දිවුරනවා; සහතික කොට කියනවා; ශපථ කරනවා.
3. ක්‍රි. (තමන්ට වරදක් කළ අයකුට) විපතක් වන ලෙස කියා සිටිනවා; ශාප කරනවා; අවලාද කරනවා; හවනවා; දෙස් තියනවා.

දෙස්දෙවොල්

නා.ප්‍ර. ශාප; හැවිලි; අවලාද; ඇණුම් බැණුම්.

දෙස්සා

1. නා. සාක්කි කියන්නා; සාක්ෂිකාරයා.
2. නා. යාග කර්මවල යෙදෙන්නා; කට්ටඩියා; යක්දෙස්සා.
3. නා. දේශයෙහි වාසය කරන්නා; දේශවාසියා; රටවැසියා.

දෙසා බානවා

1. (කථා.) ක්‍රි. විචාරයක් නැති ව දිගින් දිගට කතා කරනවා; වරද පෙන්වමින් දෝෂාරෝපණය කරනවා.
2. ඉතා කෑදර ලෙස බඩපුරා කනවා.

දෙසුහුරු බඩු

නා.ප්‍ර. සුහුරන් හෙවත් මස්සිනාවරු දෙදෙනා; දෙමස්සිනෝ.

දෙහදුව

(කථා.) නා. හිරිහැරය; කලබලය; කැළඹීම; විනාශය.

දෙහි කපනවා

1. ක්‍රි. ඇස්වහ මතුරා දෙහි කැපීමෙන් ශාන්ති කර්මයක් කරනවා.
2. ක්‍රි. කිසියම් වරදකට තරයේ දෝෂාරෝපණය කරනවා; තදින් බණිනවා.

දෙහිරු

නා.ප්‍ර. මී මැස්සා; බමරා; භෘඞ්ගයා.

දෙහෙටිල්ල

නා. ගෙඩි, මල් ආදිය නෙළා ගැනීමට පාවිච්චි කරනු ලබන කෙක්ක.

දේදුන්න

නා. වාතයෙහි තිබෙන කුඩා දිය බිංදුවලට වැටෙන සූර්යාලෝකය වර්තනය වීම නිසා සෑදෙන වර්ණ සමූහය; දෙව් දුන්න; ඉන්ද්‍ර චාපය.

දේපළ

නා. පුද්ගලයකුට හෝ ආයතනයකට අයිති ඉඩකඩම්, මිල මුදල් ආදි වස්තුව.

දේපළ ගිණුම

(පාරිභා.) නා. පුද්ගලයකුගේ බූදලයේ වටිනාකම දැක්වෙන ගිණුම.

දේපළ බද්ද

නා. රජය විසින් පුද්ගලයන් සතු දේපළවලින් අය කරන බදු මුදල.

දේය ධර්මය

නා. පිනට දීමට සුදුසු දෙය; දානය සඳහා යෝග්‍ය වස්තුව; දක්ෂිණාව.

දේව

වි. දෙවියන් සම්බන්ධ වූ; දෙවියන්ට හෝ දිව්‍ය ලෝකයට අයත්; දිව්‍ය.
1. නා. දෙවියා; දේවතාවා.
2. නා. රජු; නරනිඳු.
3. නා. වැහි වලාකුළ; මේඝය.
4. නා. සංස්කෘත භාෂාව.

දේව අපරාධය

(කථා.) නා. ඉතා බරපතල අපරාධය; අති මහත් වරද.

දේව ඇදහිල්ල

1. නා. දෙවියන් කෙරෙහි ඇති භක්තිමත් විශ්වාසය.
2. නා. දෙවියන්ට කරන පුද පූජා.

දේව උරුමය

(පාරිභා.) නා. රජවීමට හෝ මිනිසුන් පාලනය කිරීමට දෙවියන්ගෙන් ලද අයිතිය (=diving right).

දේව කථාව

1. නා. දෙවියන් පිළිබඳ ව ගොඩ නැගුණු කතාන්දරය; දේව චරිත වටා ගොඩ නැගුණු කථාව.
2. නා. ස්වභාව ධර්මයේ සිද්ධීන් මත ප්‍රාතිහාර්යයන් ලෙස ගොඩ නැගුණු කථාව; අද්භූත කථාව.

දේව කෝපය

නා. දෙවියන්ගේ උදහස; පාපයට සහ අධර්මිෂ්ඨ භාවයට දෙවියන්ගෙන් ලැබෙන දඬුවම; දෙවියන් කිපීම නිසා ඇතිවන උපද්‍රව.

දේව දාසයා

නා. දෙවියන් වෙනුවෙන් කැප වී සේවය කරන්නා.