සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 873

දේව දාසිය

නා. දේවාලයෙහි නර්තනයේ යෙදෙන කාන්තාව.

දේව දෘෂ්ටිය

නා. ලෝකය මවා රක්ෂා කරන සර්ව බලධාරි දෙවි කෙනෙක් ඇතැයි යන ඇදහීම; දේවාගම; දෙවියන් පිළිබඳ විශ්වාසය.

දේව දේවයා

නා. දෙවියන්ගේ දෙවියා; මහාදේවයා; බ්‍රහ්ම, විෂ්ණු ආදි දෙවියන් සඳහා විහිතයි.

දේව නීතිය

1. නා. රාජ නීතියටත්, ස්වාභාවික නීතියටත් උත්තරීතර වූ සේ සැලකුණු දෙවියන්ගේ නීතිය; දේව නියමය.
2. නා. අන්තිම නඩු තීන්දුව නම් ක්‍රිස්තියානි ග්‍රන්ථය.

දේව පනත

නා. (ක්‍රිස්ති.) දෙවියන් වහන්සේ විසින් මිනිසාගේ පිළිපැදීම පිණිස පනවන ලද දස වැදෑරුම් ප්‍රඥප්තිය; දස පණත.

දේව පුත්‍රයා

1. නා. දිව්‍ය ආත්ම භාවයක් ලබා සිටින තැනැත්තා; දෙව්ලොව වසන්නා; දෙවියා.
2. (ක්‍රිස්ති.) නා. දෙවියන් වහන්සේගේ පුත්‍රයා; යේසුස් ක්‍රිස්තුස් වහන්සේ.

දේව මන්දිරය

නා. දෙවියන් වෙනුවෙන් කැප කරන ලද සිද්ධස්ථානය; කෝවිල; දේවාලය; පල්ලිය; දේවස්ථානය.

දේව මාතාව

1. නා. ආදිත්‍යයන්ගේ මාතෘ වූ දෙවඟන; සූර්යයාගේ මව; අදිතිය.
2. (ක්‍රිස්ති.) නා. ක්‍රිස්තුස් වහන්සේගේ මව.

දේව මෙහෙය

නා. (ක්‍රිස්ති.) ක්‍රිස්තියානි දේවස්ථානයන්හි දෙවියන් වහන්සේ වෙනුවෙන් පවත්වන පූජාව; දිනපතා හෝ සතියකට වරක් හෝ යාච්ඤා කිරීම් ආදියෙන් පවත්වන ආවතේවය; භෞතීස්මය, විවාහය, මරණය, ස්මරණ කටයුතු ආදි විශේෂ අවස්ථාවන්හි දෙවියන් වෙනුවෙන් පවත්වන පූජාව.

දේව සන්හිඳ

නා. දෙවියන් සඳහා පුද පූජා පවත්වන ස්ථානය.

දේවකාරිය

නා. අලුත ලබාගත් අස්වැන්නෙන් දෙවියන්ට කරන පූජාව.

දේවකේඩුව

නා. දෙවියන් කිපීම නිසා ඇතිවන දුර්විපාකය; දෙවියන්ගෙන් ලැබෙන දඬුවම.

දේවගැතියා

නා. (ක්‍රිස්ති.) ක්‍රිස්තු සභාවක පූජකවරයා; ක්‍රිස්තු දේවස්ථානයක් භාර ව සිටින පූජකවරයා; දෙවියන්ගේ සේවයට කැපවුණු පුද්ගලයා.

දේවත්වය

නා. දෙව් බව; දිව්‍ය භාවය; දේව ස්වරූපය.

දේවතා බලිය

නා. ආරක්ෂක දෙවියන්ට දිය යුතු දානය; දේව දානය.

දේවතාවා

1. නා. දෙවියා; දේව පුත්‍රයා.
2. නා. විෂ්ණු, බ්‍රහ්ම, මහේශ්වරාදි මහේශාක්‍ය දෙවියන් සම්බන්ධයෙන් යෙදේ.
3. (ක්‍රිස්ති.) නා. ශුද්ධ වූ දිව්‍යමය ත්‍රිත්වය; පීතෘ, පුත්‍ර, ශුද්ධාත්ම යන ත්‍රිගුණයෙන් යුතු දෙවියන් වහන්සේ.

දේවදූතයා

1. නා. දෙවියන්ගේ පණිවුඩකරුවා; දෙවියන් විසින් එවන නියෝජිතයා.
2. නා. බෞද්ධ පිරිත් පිංකම්වලදී දොරකඩ අස්න කියවීම නම් චාරිත්‍රයෙහි යෙදෙන කුඩා දරුවා හඳුන්වන නාමය.

දේවධර්මය

1. නා. දේවභක්තිකයන් දෙවියන් පිළිබඳ ලියූ දේ; විවිධ දේවවාදීන් අදහන මත; දේවමතය.
2. නා. ලැජ්ජාව සහ බිය; හිරි ඔතප්; ලෝක පාලන ධර්මය.

දේවනාගර

නා. සංස්කෘත භාෂාව ලිවීමේ දී භාවිත කරනු ලබන අක්ෂර විශේෂය.

දේවාගම

නා.ප්‍ර. දෙවියන් විසින් ලොව මවන ලද බව අදහන ආගම; සර්වබලධාරි දෙවියකු කෙරෙහි විශ්වාසයෙන් යුතු ව අදහන ආගම.

දේවාලය

නා. දෙවියන් සඳහා ඉදි කළ ස්ථානය; දෙවියන් වෙනුවෙන් කැප කළ ගෘහය; දේවස්ථානය; දේව මන්දිරය.

දේවිය

1. නා. දිව්‍යාංගනාව; දිව්‍ය ස්ත්‍රිය; දිව්‍ය කාන්තාව.
2. නා. රජ බිසව; මෙහෙසිය.
3. නා. උතුම් ස්ත්‍රිය; උත්තමාඞ්ගනාව.

දේශ ගවේෂකයා

නා. අලුතින් රටවල් සොයා ගන්නා; කලින් නොදත් රටවල් ගවේෂණය කරන්නා.

දේශ විජය

නා. රටවල් යටත් කරගැනීම; රටවල් ජය ගැනීම; දිග් විජය කිරීම.