සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 905

නාසාදාරුව

නා. උළුවස්සේ උඩ පඩිය; උඩෙළිපත.

නාසාධෝපාද

[නාසා + අධෝපාද]
(පාරිභා.) වි. නාසයෙහි පහත කොටසෙහි වූ.

නාසාන්තර ආවාරය

(පාරිභා.) නා. නාසාපුට වෙන් කෙරෙන බිත්තිය.

නාසානාහ

නා.ප්‍ර. නාසා මාර්ගය ඇහිරී යෑම; නාස් මග අපද්‍රව්‍ය වලින් වැසී යෑම.

නාසාපුටය

1. නා. නහයෙහි සිදුර; නාස්පුඬුව.
2. නා. ඝ්‍රාණ රෝග විශේෂයක්; පීනස් රෝගය.

නාසික නායකය

(පාරිභා.) නා. නාසයෙහි ද්‍රව මාර්ග නළය.

නාසික්‍ය

වි. නාසයෙන් උපදනා; නැහැය ඇසුරු කළ.

නාසිකා ද්‍රවය

නා. නාසයෙන් වැගිරෙන ද්‍රව්‍ය; සොටු.

නාසිකාක්ෂරය

[නාසික + අක්ෂරය]
නා. නාසය ඇසුරෙන් උපදනා ශබ්දයක් සඳහා යෙදෙන අකුර.

නාසිකාව

නා. නාසය; නැහැය.

නාසේඛ

වි. අසේඛ නුවූ; නොහික්මුණු; ශික්ෂා නොවූ.

නාහෙන් අඬනවා

(කථා.) ක්‍රි. ඇවිටිලි කරනවා; කංකෙඳිරි ගානවා; බැගෑපත් ව ඉල්ලා සිටිනවා.

නාළ ආධමනය

(පාරිභා.) නා. පෙනහැලි ආදියට නළ මගින් කරන වායු පිඹීම (=tubal insufflation).

නාළ ගබ්සාව

(පාරිභා.) නා. (පැලෝපිය ආදි) නාළ වැසීමෙන් කරනු ලබන ගබ්සාව (=tubal abortion).

නාළය

නා. සිදුරු සහිත සිලින්ඩරාකාර බටය.

නාළි

1. නා.ප්‍ර. නහරය; නාඩිය.
2. නා.ප්‍ර. කුහරය සහිත දණ්ඩ.

නාළිකේර

නා.ප්‍ර. පොල්; නෙරළු.

නාළු

වි. අත් නොහළ; නොඇරි; නොහැරී.

නැංගුරම

නා. මුහුදු යාත්‍රා නවත්වා තැබීමේ දී ආධාර කර ගන්නා විශාල ලෝහ උපකරණය.

නැංගුරම් කටුව

(පාරිභා.) නා. මෝටර් රථයක අවරතල මුදුනේ රෝධක පලුවල පිහිටීම පාලනය කරන කටුව.

නැංගුරම් ලනවා

ක්‍රි. නැවක් එක් තැනක රඳවා ගැනීම සඳහා අවශ්‍ය නැංගුරම මුහුදු පත්ලට දමනවා.

නැංගුරම් වලය

(පාරිභා.) නා. නැංගුරමක දම්වැල් සවි කිරීමට ඇති වළල්ල (=anchor ring).

නැකත්

නා.ප්‍ර. නක්ෂත්‍ර; නැකත්; තාරකා; ශුභ මොහොත.

නැකත්කරුවා

නා. නැකත් යෝග සාදන්නා; ජ්‍යෝතිශ්ශාස්ත්‍රයට අනුකූල ව නැකැත් හදන්නා.