සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 98

අන්‍යස්මෘතික

වි. අනෙක් කරුණක් වෙත සිත යොමු කළ.

අන්‍යසාමාන්‍ය

නා. අන්‍යයන් හා සමාන බව.

අන්‍යාධීනයා

නා. අනුන්ට අයත් තැනැත්තා; යටත් තැනැත්තා.

අන්‍යාපදේශය

[අන්‍ය + අපදේශය]
නා. අනිකක් දැක්වීම හෝ ගෙන හැර පෑම.

අන්‍යාය

නා. නීතියට විරුද්ධ වූ දෙය; අයුක්තිය.

අන්‍යෝන්‍ය

වි. අන්‍ය අන්‍ය; ඔවුනොවුන් පිළිබඳ; එකිනෙක හෝ එකිනෙකා පිළිබඳ.

අන්‍යෝන්‍ය ආකර්ෂණය

(පාරිභා.) නා. එකිනෙක වෙත ඇද ගන්නා බලය (=mutual attraction).

අන්‍යෝන්‍යප්‍රේරණය

(පාරිභා.) නා. දඟර දෙකකින් එකක ධාරාව වෙනස් වීමෙන් තවත් දඟරයකට සම්බන්ධ වූ ස්‍රාවයේ වෙනස් වීමක් ඇති වී, පසු ව කී දඟරයේ විද්‍යුත්ගාමක බලය ඇති කිරීම (=mutual induction).

අන්‍යෝන්‍යස්ථ

වි. එකිනෙක කෙරෙහි පිහිටි.

අන්‍යෝන්‍යාධාරය

[අන්‍යෝන්‍ය + ආධාරය]
නා. ඔවුනොවුන්ට උපකාර වීම; එකිනෙකාට ආධාර වීම.

අන්‍යෝන්‍යාභින්න

වි. එකිනෙකට වෙනස් වූ; ඔවුනොවුන් හා වෙනස් වූ.

අන්‍යෝන්‍යෝපකාරය

[අන්‍යෝන්‍ය + උපකාරය]
නා. ඔවුනොවුන්ට උපකාර වීම.

අනා

වි. නොආ; නොපැමිණි; ඉදිරි කාලයට අයත්; අනාගත.
1. නා. අන් තැනැත්තා, අන්‍යයෙක්.
2. නා. පිහිට වන්නකු නැති තැනැත්තා; අසරණයා.

අනාකල්

නා.ප්‍ර. නොපැමිණි කාලය; අනාගත කාලය.

අනාකූල

1. (පාරිභා.) වි. අවම ප්‍රතිරෝධයක් ඇති වන පරිදි ගලන දිය ධාරාවක මාර්ගය වැනි වූ සීමා ඇති.
2. වි. ආකූල නොවූ; නොකැලඹුණු; නිරවුල්; පැහැදිලි.

අනාඛ්‍යාත

වි. නොකියන ලද; ප්‍රකාශ නොකරන ලද; විස්තර නොකළ.

අනාගත

වි. නොපැමිණි.

අනාගත දර්ශියා

නා. මතු කාලයෙහි සිදු වන දේ නුවණැසින් දක්නා තැනැත්තා; දිවැස් ඇත්තා.

අනාගත ධර්මය

නා. (ක්‍රිස්ති.) මරණය, විනිශ්චය, ස්වර්ගය, නිරය යන අන්තිම අවස්ථා පිළිබඳ ඉගැන්වීම; අන්තිම භාව විද්‍යාව.

අනාගත භවය

නා. මතු උපදින ආත්මභාවය; මතු අත්බව.

අනාගත වාක්‍යය

නා. මතු සිදුවන දෑ කල්මත්තෙන් කීම; ඉදිරි කාලයෙහි සිද්ධ වන කාරණ පිළිබඳව කලින් කරන ප්‍රකාශය.

අනාගතංස

නා.ප්‍ර. අනාගත වූ කොටස; අනාගතය.

අනාගතංස ඤාණය

නා. අනාගතය හෙවත් අනාගතයෙහි සිදු වන දෑ දක්නා නුවණ.

අනාගතභාවී

වි. අනාගතයෙහි වන්නා වූ; මතු කාලයෙහි සිද්ධවන්නා වූ