සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 99

අනාගතය

නා. නොආ හෙවත් නොපැමිණි කාලය; මතු කාලය.

අනාගතවක්තෘ

නා.ප්‍ර. මතු සිදු වන දෑ කල්මත්තෙන් කියන්නා; ඉදිරි කාලයෙහි සිද්ධ වන කාරණ කලින් ප්‍රකාශ කරන්නා.

අනාගතිය

නා. නොපැමිණීම; අසම්ප්‍රාප්තිය.

අනාගමනය

නා. ආපසු නොපැමිණීම.

අනාගම්‍ය

වි. ළං විය නොහැකි; දුර්ගම; පැමිණීමට අපහසු.

අනාගාමියා

නා. පිළිසිඳීම වශයෙන් කාමලෝකයට (කාම භවයට හෙවත් කාම ධාතුවට) පෙරළා නොඑන්නා වූ තෘතීය මාර්ග ඵලයට පැමිණි ආර්ය පුද්ගලයා.

අනාගාමී

නා. නිර්වාණ මාර්ගයෙහි තුන්වන ඵලය.

අනාගාමී ආර්යයා

නා. අනාගාමී මාර්ගඵල අධිගම කළ ආර්ය හෙවත් උතුම් පුද්ගලයා; අනාගාමියා.

අනාගාමී ඵලය

නා. අනාගාමී මාර්ගයෙන් හටගන්නා වූ ඵලය හෙවත් විපාකය; අනාගාමියකු විසින් සාක්ෂාත් කරන ලද ඵලය.

අනාගාමීමග්ග

නා.ප්‍ර. (අභි.) පියවර හතරකින් යුත් ආර්ය මාර්ගයෙහි තුන්වැන්න.

අනාගාර

වි. ගෙයක් නැති; ගිහි ගෙයින් ඉවත් වූ; පැවිදි වූ.

අනාච්ඡාදනය

නා. වැස්ම ඉවත් කිරීම; නොවැසීම.

අනාචාරය

1. නා. ආචාර ධර්මයට විරුද්ධව හැසිරීම; අවකල් ක්‍රියාව; දුරාචාරය
2. නා. කාමයෙහි වරදවා හැසිරීම; පරදාර හෝ පරපුරුෂ සේවනය; කාමමිථ්‍යාචාරය.
3. (විනය.) නා. සිතින්, කයින් හෝ වචනයෙන් ශික්ෂාපද කඩ කිරීම; ත්‍රිවිධද්වාරයෙන් සිදු වන ශික්ෂාපද උල්ලංඝනය.

අනාචාරශීලී

වි. ආචාර ධර්මයට විරුද්ධ පැවතුම් ඇති; අවකල්ක්‍රියාවේ යෙදෙන.

අනාචාරි

1. වි. ඇදුරකු නැති.
2. වි. ආචාර ධර්මයන්ට විරුද්ධ හැසිරිම් ඇති; දුරාචාර ගති පැවතුම් වලින් යුතු.

අනාචාරියා

නා. ආචාර ධර්මයට විරුද්ධව හැසිරෙන්නා; දුසිරිතට ඇබ්බැහි තැනැත්තා.

අනාඥේය

නා.ප්‍ර. නොදත හැක්ක; අවබෝධ කළ නොහැක්ක (මහායාන ධර්මයෙහි නිර්වාණය හඳුන්වන පදයකි).

අනාත්ම

වි. ආත්මයක් නැති.

අනාත්ම ලක්ෂණය

නා. (අභි.) තමා හෝ තමාගේ හෝ නොවන ස්වභාවය; මමය මාගේය යනුවෙන් ගත හැකි ආත්මයක් ශරීරය තුළ නැතැයි සැලකීම.

අනාත්මය

නා. ආත්මයක් නැතිබව; මමය මාගේය යන මමත්වය නැති බව.

අනාත්මවාදය

නා. ආත්මය යැයි වෙන් කොට දැක්විය හැකි කිසිවක් සත්ත්වයකු තුළ නැතැයි උගන්වන දර්ශනය; ආත්මයක් නැතැයි පිළිගැනීම.

අනාතුර

වි. ලෙඩක් නැති ; රෝගයකින් තොර.

අනාථ

වි. පිහිටවන්නකු නැති; ස්වාමියකු නැති; සරණක් නැති; අසරණ.

අනාථ නිවාසය

නා. අසරණයන් සඳහා පිහිටුවා ඇති නිවාසය; අනාථ මඩම.