සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 100

අනාථනාථ

වි. අසරණයන්ට පිහිටවන; පිහිටක් නැති අයට සරණ වන.
1. නා.ප්‍ර. බුදුරජාණන් වහන්සේ හඳුන්වන නාමයක්.
2. නා.ප්‍ර. නාථදෙවි.

අනාදරිය

1. නා.ප්‍ර. ආදරය නැති බව; නොසැලකිල්ල.
2. නා.ප්‍ර. අගෞරවය; අවමානය.

අනාදවස

නා. ඉදිරියට එන කාලය; මතු දවස; අනාගත කාලය.

අනාද්‍යන්ත

වි. පටන් ගැනීමක් හා කෙළවරක් නොමැති; අක්මුල් රහිත.

අනාදි

1. වි. ආදියක් හෙවත් පටන් ගැන්මක් නැති; ආරම්භයක් නොපෙනෙන; පුරාතන.
2. වි. මුල නොපිහිටි; ආරම්භයෙහි නොවූ.
3. වි. වචනයක ආදිය නුවූ; ස්වර දෙකක් මධ්‍යයෙහි හෙවත් අතරෙහි වූ.
නා.ප්‍ර. පැරණි කාසි වර්ගයක්.

අනාදෘත

වි. නොසලකන ලද; සැලකිල්ලට නොගත්; ආදරය නොකරන ලද.

අනාදෙය්‍ය

වි. නොපිළිගත යුතු; නොගත යුතු; නොසැලකිය යුතු.

අනාධෘෂ්‍ය

වි. පරාජය කළ නොහැකි; දමනය කළ නොහැකි; අදම්‍ය.

අනාධෙය්‍යාතිසය

වි. දැනගත යුතු හෙවත් සිතෙහි දැරිය යුතු තවත් දෙයක් නැති; පරිපූර්ණ

අනානන්තර

වි. අතරක් නැති නොවූ; නො කඩවීමක් නැති; අනන්තර නොවූ.

අනාපත්තිය

නා. (විනය.) (විනය නීති කඩ කිරීමෙන්) වරදකට නොපැමිණවීම; ඇවැතකට පත් නොවීම; ආපත්තියක් නොවූව.

අනාපස

නා.ප්‍ර. ( ව්‍යාක.) අනාගත කාලය හඟවන ප්‍රත්‍යය.

අනාප්ත

1. වි. අප්‍රාප්ත; අධිගමයට නොපැමිණි.
2. වි. ඥානවත් නොවූ; දැනුමක් නැති.

අනාපාථය

නා. ඇස් හමුයෙහි නොපිහිටි දෙය; ඇසට පෙනෙන සීමාවෙන් බැහැරවූව.

අනාපුච්ඡාව

නා. නොපිළිවිසීම; නොවිචාරීම; අසා නොවිමසීම.

අනාබව

නා.ප්‍ර. මතු උපදින ජන්මය; අනාගත උපත; ඉදිරි භවය.

අනාබස

නා. අනාගත වාක්‍යය.

අනාභෝගය

නා. නොසිතීම; මෙනෙහි නොකිරීම; අධිෂ්ඨාන නොකිරීම.

අනාමක

වි. නමක් නැති; නමක් නොලැබූ.

අනාමට්ඨ පිණ්ඩපාතය

නා. ඉඳුල් නොකරන ලද පිණ්ඩපාතය.

අනාමන්තචාරය

නා. කඨිනයක් ඇතිරීම කළ භික්ෂුවක් දොළොස් රියනක් ඇතුළත සිටින භික්ෂුවකට නොදන්වා විහාරයෙන් නික්ම යෑම; නොවිචාරා ගම් වැදීම.

අනාමය

නා.ප්‍ර. ලෙඩ නැතිකම; නිරෝගී භාවය.

අනාමර්ශ

වි. අත නොගෑ යුතු; නොඇල්ලිය යුතු; ස්පර්ශ නොකටයුතු.
නා.ප්‍ර. කල්පනා නොකිරීම; සැලකිල්ලට නොගැනීම.

අනාමාස

නා.බහු. (විනය.) උපසපන් භික්ෂුවක් විසින් අත නොගෑ යුතු එනම් ඇල්ලීමට නුසුදුසු වස්තු.