සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 101

අනාමිකාව

නා. අත්පාවල මැද ඇඟිල්ල හා සුළැඟිල්ල අතර පිහිටි ඇඟිල්ල; මුදැඟිල්ල; වෙදැඟිල්ල

අනාමෘෂ්ට

1. වි. අත නොගෑ; නොඅල්ලන ලද; ස්පර්ශ නොකරන ලද.
2. වි. තෘෂ්ණා දෘෂ්ටි ආදි කෙලෙසුන් විසින් නොගන්නා ලද; භවභෝග සම්පත් නොපැතූ.

අනායත්

වි. අනුන්ට අයිති; තමන් සතු නොවූ; අන්සතු.

අනායත්ත

වි. අනුනට යටත් නොවූ; නිවහල්; දමනය නොවූ.

අනායාස

වි. උත්සාහයකින් තොර; නිරුත්සාහික; ආයාස රහිත.

අනායූහනය

1. නා. උත්සාහයක් නොමැතිකම; උද්යෝගයක් නොමැතිකම; අනුත්සාහය.
2. නා. මතු භවයෙහි ප්‍රතිසන්ධියට හේතු වූ කර්මය රැස් නොකිරීම; නිර්වාණය.

අනාරක්ෂිත

වි. ආරක්ෂා නොකරන ලද; නොරක්නා ලද.

අනාරබ්ධ

වි. පටන් නොගත්; ආරම්භ නොකළ.

අනාරම්භ

1. වි. පටන් ගැනීමක් නැති; ආරම්භයක් නොමැති.
2. වි. උපද්‍රව රහිත
නා.ප්‍ර. පටන් නොගැනීම.

අනාරම්මණ

වි. (අභි.) අරමුණු රහිත; අරමුණු නොගන්නා; ආලම්බන ස්වභාවයෙන් තොර.

අනාර්ය

1. වි. උතුම් නොවූ; ශ්‍රේෂ්ඨ නොවූ; හීන පැවතුම් ඇති; ම්ලේච්ඡ.
2. වි. ආර්ය නම් මානව කොට්ඨාසයට අයත් නොවූ; ම්ලේච්ඡ.
3. වි. මාර්ග ඵලයකට නොපැමිණි; පෘථග්ජන; පුහුදුන්.

අනාර්යයා

1. නා. ආර්ය නම් මානව කොට්ඨාසයට අයත් නොවන්නා; අශිෂ්ටයා; ම්ලේච්ඡයා.
2. (අභි.) නා. මාර්ග ඵලයකට නොපැමිණි තැනැත්තා; පෘථග්ජනයා; පුහුදුනා.

අනාර්හ

වි. සුදුසු නොවූ; නුසුදුසු.

අනාරාධික

වි. ආරාධනයක් නොලැබූ; ඇරයුමක් නොලත්.

අනාරූඪ

1. වි. අර්ථව්‍යාඛ්‍යානයට නොනංවන ලද; විස්තර නොකරන ලද.
2. වි. ඇතුළත් නොකරන ලද; අන්තර්ගත නොකළ.

අනාරූප්‍ය

වි. අරූප ලෝකයට අයත් නොවන; අරූපාවචර නොවන; රූපාවචර.

අනාරෝචනය

නා. (විනය.) නොදැන්වීම; ආරෝචනය නොකිරීම.

අනාලම්බ

වි. එල්ලී සිටීමට දෙයක් නොමැති; අල්ලා සිටීමට උපකාර වන යමක් නැති.

අනාලම්බන

වි. (අභි.) අරමුණක් නැති; අරමුණක් නොගන්නා; ආලම්බන ස්වභාවයෙන් තොර.

අනාලය

1. වි. නිවසක් නැති; නිවාසයක් නොමැත්තා වූ,
2. වි. ඇල්මක් නැති; ආශා රහිත; නොඇලෙන.
1. නා.ප්‍ර. පඤ්චකාමයෙහි නොඇලෙන ස්වභාවය.
2. නා.ප්‍ර. ආශා නැති බව; අතෘප්තිය.

අනාලස්‍ය

වි. කම්මැළිකම නැති; අලස නොවන; කුසීත නැති; අනලස්.

අනාලාපය

නා. කථා නොකිරීම; නොබිණීම; නිහඬව සිටීම.

අනාලෝචිත

වි. නොසිතා බලන ලද.

අනාලෝළිත

වි. නොකැලඹුණු; නොකලඹවන ලද.