සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 102

අනාව

නා. නොපැමිණි කාලය; ඉදිරි කාලය, මතු දවස.

අනාවරකය

(පාරිභා.) නා. කිසියම් දෙයක් සැඟවී තිබේ දැයි සොයා ගැනීමේ උපකරණය; නිරීක්ෂණය නොවනසුලු ක්‍රියාවක් සොයා ගැනීමේ උපකරණය (=detector).

අනාවරණ

1. වි. නොවැසුණු; ආවරණය නොවුණු.
2. වි. බාධා රහිත; නොවැළකුණු.

අනාවරණ ඥානය

නා. දැනගත යුතු සියලු දෙය අවහිරයක් නැතිව දන්නා නුවණ; බුදුවරයෙකුට පමණක් ඇති ෂඩ්විධ අසාධාරණ ඥාන අතරින් එකකි.

අනාවරණය

1. නා. නොවැසුණු බව; එළිදරවු වීම.
2. නා. සොයා දැනගැනීම; සැඟවී තිබුණු දෙයක් මතු කර ගැනීම.

අනාවැකිය

නා. මතු කාලයෙහි මෙවැන්නක් වෙතියි කල් තබා කරන ප්‍රකාශය; අනාගත වාක්‍යය.

අනාවිකරණය

නා. හෙළි නොකිරීම; (ප්‍රකාශ කළ යුතු කරුණක්) ප්‍රකාශ නොකිරීම.

අනාවිල

වි. නොකැලඹුණු; පැහැදිලි; ප්‍රසන්න.

අනාවෘත

වි. නොවසන ලද; නොඅවුරන ලද; බාධා රහිත.

අනාවෘත්ත

වි. වට නොකරන ලද; හාත්පසින් කොටු නොකරන ලද.

අනාශ්වාසයා

නා. අස්වැසිල්ලක් නොලබන්නා; සැනසිල්ලක් නොමැත්තා.

අනාශ්‍රව

වි. (විනය.) ආශ්‍රයක් නැති; වෙන් වූ; තනි.

අනාසක්තිය

නා. නොඇල්ම; ආශා රහිත බව.

අනාසව

වි. ආසව හෙවත් කෙලෙස් නැති.

අනාස්වාදිත

වි. රස විඳ නොගත්; ආස්වාදය නොකළ.

අනාසේවිත

වි. සේවනය නොකරන ලද; භාවිත නොකරන ලද; ඇසුරු නොකරන ලද.

අනාහත

වි. තුවාල නොකළ; පහර නොදෙන ලද.

අනාහාර

වි. ආහාර රහිත, නිරාහාර.

අනාහිත

වි. නොතබන ලද; නොදැල් වූ; යාග හෝම පිළිබඳ ගිනි සම්බන්ධයෙන් කියනු ලැබේ.

අනාහූත

වි. නොකැඳ වූ; ආරාධනා නොලැබූ; නිමන්ත්‍රණය නොකරන ලද.

අනික්ෂිප්ත

වි. අත් නොහළ; බහා නොතැබූ; නික්ෂේප නොකළ.

අනිකේත

1. වි. ගෙයක් නැති; නිවසක් නොමැත්තා වූ; නිවාස රහිත.
2. වි. ගිහි ජීවිතයක් ගත නොකරන; ගෘහස්ථ නොවන; අනගාරික.

අනිකේතවාසී

වි. (කථා.) ගෙයක නොවසන; තමන්ගේම යැයි කිව හැකි වාසස්ථානයක් නොමැති.

අනිගස්සනවා

(කථා.) ක්‍රි. හානි පමුණුවනවා; හිරිහැර කරනවා.