සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 103

අනිග්ගහීත

වි. අවහිර නොකරන ලද; නිග්‍රහ නොකරන ලද.

අනිග්‍රහය

1. නා. මැඩ නොපැවැත්වීම; අසංවරය.
2. නා. නින්දා නොකිරීම; අවමන් නොකිරීම.
3. නා. ආයුර්වේද ශල්‍ය උපකරණයක්.

අනිච්ච

වි. හැමකල්හි එක සේ නොපවතින; නිත්‍ය නොවන; වෙනස්වනසුලු; අනිත්‍ය.

අනිච්ඡ

1. වි. ආශාවෙන් තොර; කැමැත්ත නැති; ඉච්ඡා රහිත.
2. වි. කැමැත්තක් නැතිව සිදු වන.

අනිච්ඡානුග

(පාරිභා.) වි. සිය කැමැත්තක් අනුව සිදු නොකරන; තම කැමැත්තට අනුව ක්‍රියා නොකරන.

අනිච්ඡාව

නා. ආශා රහිත බව; ඉච්ඡා විරහිතකම; නොකැමැත්ත.

අනිච්ඡිත කර්මය

නා. (ව්‍යාක.) කර්තෘගේ කැමැත්තක් නැති ව ඉබේට ම කෙරෙන කර්මය; අනිප්සිත කර්මය.

අනිඤ්ජන

වි. නොසැලෙන; කම්පා නොවන.
නා.ප්‍ර. නොසැලෙන ස්වභාවය; නොසැලීම.

අනිටු

[අන් + ඉටු]
වි. ප්‍රිය නොවූ; යහපත් නොවූ; ශුභ නොවන.

අනිටු ගණය

නා. (ඡන්ද.) අශුභ ගණය; ඡ, ර, ස, සහ ත යන අශුභ ගණ හතර.

අනිත්ලකුණ

නා.ප්‍ර. නිත්‍ය නොවන ස්වභාවය; අනිත්‍ය ලක්ෂණය.

අනිත්‍ය

වි. සදාකාලික නොවන; නස්නාසුලු; අස්ථිර.
නා.ප්‍ර. නිත්‍ය ස්වභාවයක් නොමැති බව; සදාකාලික නොවන බව.

අනිත්‍යානුදර්ශනය

නා. (අභි.) විශ්වයේ ඇති සියලු සංස්කාර ධර්ම අනිත්‍ය වශයෙන් නුවණින් දැකීම; අනිච්චානුපස්සනාව.

අනිත්‍යානුස්මරණය

නා. සියලු සංස්කාර ධර්ම වෙනස් වන සුලුය, වැනසෙනසුලුය යනුවෙන් මෙනෙහි කිරීම.

අනිදර්ශන

වි. (අභි.) ඇසට විෂය නොවන; නොපෙනෙන; චක්ෂුර් විඥානයට ගෝචර නොවන; දෘෂ්ටියට හසු නොවන්නා වූ.

අනිද්‍ර

වි. නිදි නැති; නිද්‍රාවෙන් තොර.

අනිද්‍රාව

නා. නින්ද නොයෑම; නිදා ගැනීමට නොහැකිකම හා සම්බන්ධ රෝගය.

අනිධානගත

1. වි. නිදන් නොකරන ලද; සඟවා නොතබන ලද.
2. වි. මුල්බැස නොගත්; නිදන්ගත නොවූ; යටපත් නොවූ ( රෝග පිළිබඳව කියැවේ).

අනිනපද

නා.ප්‍ර. ඇනුම්පද.

අනිනවා

1. ක්‍රි. අඟින්, හිසින් හෝ දළින් පහර දෙනවා; සිදුරු වන ලෙස පහර දෙනවා.
2. ක්‍රි. (විළුඹ, දණ, වැළමිට ආදි කෙළවරක්) පෘෂ්ඨයක වද්දවනවා/ ඝට්ටනය කරනවා.
3. ක්‍රි. වංචාවෙන් පැහැර ගන්නවා; රවටා ගන්නවා; අලාභ කරනවා.

අනින්ද්‍රිය

1. (අභි.) වි. ඉන්ද්‍රිය රහිත; ඇස්, කන් නාසාදි ඉඳුරන් නැති; අප්‍රාණික.
2. වි. ඉන්ද්‍රිය හා නොබැඳුණු.

අනින්දිත

1. වි. නින්දා නොකරන ලද; අවමන් නොලද; විවේචනයට ලක් නොවූ.
2. වි. වරදක් නැති; අඩු පාඩුවක් නැති; නිරවද්‍ය.

අනිප්ඵන්න

වි. නොනිපන්; හේතු ප්‍රත්‍ය ඇසුරින් නොඋපන්.

අනිබද්ධ

1. වි. නොබැඳුණු; අවහිරයක් නැති; සීමා රහිත.
2. වි. නියමයක් නැති; අනියත.