අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 101

ගංසළාව

නා. ගංගාවේ ඇති වන දිය සුළිය

ගගන

නා. අහස; ආකාශය (පා. සං. ගගන)

ගගනගාමියා

නා. අභ්‍යවකාශයේ ගමන් කරන්නා; අජටාකාශ යානා පදවන්නා

ගගනතලය

නා. ගුවන; අහස්තලය

ගඟ

නා. ගංගාව

ගඟුල

නා. දිය දහර; ගඟ/ දිය ඇල්ල/ වතුර; ජලය

ගඟුලැල්ල

නා. දිය ඇල්ල; නිර්ඣරය; ගඟුල්හැල්ල

ගජ නිමීලනය

නා. ඇතකු මෙන් මඳක් නෙත් අයා බැලීම (සං. ගජ+නිමීලන)

ගජකුඹු

නා.ප්‍ර. ඇතාගේ මස්තකය; ඇත් කුඹ (සං. ගජ+කුම්භ)

ගජබින්නය

නා. අමූලික බොරුව

ගජේන්ද්‍රයා

නා. නායක හස්තියා (සං. ගජෙන්‍ද්‍ර)

ගඩලාදෙණිය

නා. මහනුවර දිස්ත්‍රික්කයේ උඩුනුවර මැද පළාතේ පිහිටි ග්‍රාමයක නාමය

ගඩොළ

නා. ඉදිකිරීම් වැඩට ගන්නා ගින්නෙන් පුලුස්සා ගත් මැටිපිඩ; ගඩොළු කැටය (පා. ගණ්ඨ + ඉට්ඨිකා)

ගණ තන්ත්‍රය

නා. සමූහ ආණ්ඩු ක්‍රමය

ගණ දෙවියා

නා. නුවණට අධිපති දෙවි; ගණේශ

ගණ සංගණිකාව

නා. සමූහ වශයෙන් වාසය කිරීම (පා. ගණසඞ්ගණිකා)

ගණ සජ්ඣායනාව

නා. සමූහයක් එක් ව ගායනා කිරීම (පා. ගණ+සජ්ඣායනා)

ගණක චතුරස්‍රය

නා. ඇබකසය

ගණක යන්ත්‍රය

නා. ගණන් හදන යන්ත්‍රය; කැල්කියුලේටරය

ගණකයා

නා. ගණන් තබන්නා; භාණ්ඩාගාරිකයා/ ක්‍රීඩා තරගවල දී ක්‍රීඩකයන් ලබාගන්නා ලකුණු වෙන වෙන ම ලේඛනගත කරන්නා (පා. සං. ගණක)

ගණකාධිකරණය

නා. වෘත්තීය ගණන් තැබීමේ ශිල්පය

ගණකාධිකාරිනිය

නා. වෘත්තියක් වශයෙන් ගණන් තැබීම කරන්නිය

ගණන

නා. ප්‍රමාණය; සංඛ්‍යාව (පා. සං. ගණන)

ගණනාථ

නා.ප්‍ර. ගණ දෙවි (සං. ගණනාථ)