අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 102

ගණපූරණය

නා. රැස්වීමක් පැවැත්වීම සඳහා අවශ්‍ය යැයි සම්මත වූ අවම සාමාජික සංඛ්‍යාව (සං. ගණ+පූරණ)

ගණය

නා. සමූහය; කුලය/ ධර්මය හදාරන පැවිදි ශිෂ්‍ය සමූහය/ ලඝු ගුරු මිශ්‍ර මාත්‍රා තුන (පා. සං. ගණ)

ගණ්ඨිපද

නා.ප්‍ර. තේරුම් ගැනීමට අපහසු වචන; ගැටමුසු පද (පා. ගණ්ඨිපද)

ගණ්ඩමාලය

නා. ශරීරයේ ගෙල වටා වසා ග්‍රන්‍ථි මහත් වීම ලක්ෂණ කොට ඇති රෝගය; ගලගණ්ඩය (සං. ගණ්ඩමාලා)

ගණ්ඩය

නා. මුහුණේ පැත්ත; කම්මුල/ ශරීරයේ සෑදෙන බිබිලි/ ලපය; ලකුණ/ පන්හිඳේ මොට්ටුව (පා. සං. ගණ්ඩ)

ගණ්ඩාස්ථිය

නා. කම්මුල් ඇටය (සං. ගණ්ඩාස්ථි)

ගණිකා

වි. වෘත්තියක් වශයෙන් මුදලට පුරුෂයන් සමග ලිංගික සේවනයේ යෙදෙන (පා. සං. ගණිකා)

ගණිගණයා

නා. ගණ නායකයන් හා ඒ ගණවලට අයත් සෙසු සාමාජික පිරිස

ගණිතඥයා

නා. ගණිතය පිළිබඳ විශාරදයා (සං. ගණිත+ඥ)

ගණිතය

නා. ගණන් මිනුම් සංඛ්‍යා පිළිබඳ විද්‍යාව (සං. ගණිත)

ගණිනවා

ක්‍රි. ගණන් කරනවා (පා. ගණෙති සං. ගණයති)

ගණින්නාන්සේ

නා. භික්‍ෂු ප්‍රතිපත්තීන්ගෙන් පිරිහී ගියා වූ උපසම්පදාව නොලැබූ ශ්‍රමණ පිරිස

ගණිඳු

නා.ප්‍ර. ගණදෙවි; ගණේශ

ගණේශ

නා.ප්‍ර. ගණ දෙවි (සං. ගණේශ)

ගතානුගතික

වි. කළවුන් අනුව කරන; සම්ප්‍රදායානුකූල

ගතික

වි. වෙනස්වනසුලු (පා. සං. ගතික)

ගතිගුණ

නා.ප්‍ර. හැසිරීම; චර්යාව

ගදඹ

නා.ප්‍ර. ගන්ධර්ව

ගද්‍යය

නා. ඡන්දස් රහිත ව වැකියෙන් ලියූ රචනා විශේෂය (සං. ගද්‍ය)

ගද්‍රභයා

නා. කොටළුවා

ගදායුධය

නා. පංචායුධවලින් එකක්; අඩයටිය; මුගුර (සං. ගදායුධ)

ගන

1. වි. තුනී නොවූ; ඝන වූ/ ඒකාබද්ධ/ ගැවසීගත්/ උකු (පා. සං. ඝන) 2. පංචතූර්ය භාණ්ඩයන්ගෙන් එකක්; අත්තාළම (පා. ඝන)

ගනකම

නා. තුනී නොවන බව/ උකු බව/ උඩඟුකම

ගනකුළ

නා. වැහි වලාකුළ