සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1008

පරිහෘද

(පාරිභා.) වි. හෘත්පර්යාවරණය පිළිබඳ ; පරිකන්තුවට අයත් ; හෘත්කෝෂිය ; හෘදය හා සම්බන්ධ.

පරිහෘදය

(පාරිභා.) නා. හෘත්පර්යාවරණය; පරිකන්තුව ; හෘදපටලය.

පරීක්ෂණ

වි. (බුද්ධිය, දැනීම ආදිය) මැනීම හා සම්බන්ධ; විමසීම් පිළිබඳ ; අත්හදා බැලීම් පිළිබඳ.

පරීක්ෂණ නළය

(පාරිභා.) නා. රසායනික පර්යේෂණ සඳහා භාවිත කරන වීදුරු නළය.

පරීක්ෂණය

1. නා. බුද්ධිය, දැනීම ආදිය විභාග කිරීම ; අධ්‍යාපන තත්ත්වය මැනීම.
2. සෝදිසිය ; විභාගය ; පරීක්ෂා කිරීම.
3. විද්‍යාත්මක වශයෙන් කෙරෙන පර්යේෂණය ; අත්හදා බැලීම.

පරීක්ෂණාගාරය

නා. විද්‍යාත්මක පර්යේෂණ පවත්වන ශාලාව හෝ ගෙය.

පරීක්ෂය

[පරි + ඊක්ෂය]
(පාරිභා.) නා. සබ්මැරින් අගල් ආදී ස්ථානය තුළ දී, තමාට වඩා ඉහළින් පිහිටි ප්‍රදේශයක් දැක ගැන්මට පහසුව සලසන දෘශ්‍ය උපකරණයක් ; පරිදර්ශකය ; පෙරිස්කෝපය.

පරීක්ෂාව

1. නා. සෝදිසිය ; විමසුම ; පිරික්සීම ; සොයා බැලීම.
2. (පාරිභා.) ද්‍රව්‍යයක් හැඳින ගැනීම, ද්‍රව්‍යයක තිබෙන දේ දැනගැනීම හෝ භෞතික ගුණ තීරණය කිරීම සඳහා හෝ කරන අත්හදා බැලීම.

පරුෂ

වි. රළු ; රෞද්‍ර ; කර්කශ.

පරුෂ වචන

නා.ප්‍ර. සිත් රිදවන බස් ; රළු වදන්.

පරූපඝාතය

නා. අනුන් නැසීම ; පරපණ නැසීම.

පරූපවාදය

නා. අන්‍යයන් විසින් කරනු ලබන දෝෂාරෝපණය.

පරෙවි පැහැ

නා.ප්‍ර. අළු පාට.

පරොස්

නා.ප්‍ර. කෝපාධික වචන ; නපුරු බස් ; බැණුම්.

පරෝක්ෂ

වි. ඉන්ද්‍රිය ගෝචරයෙහි නැති ; සමීපයෙහි නොපවතින.

පරෝපකාරය

නා. අනුන්ට කරන උපකාරය ; අන්‍යයන් උදෙසා කරන උදවුව.

පරෝපදේශය

නා. අනුන් දෙන උපදේශය.

පල

1. නා.ප්‍ර. බෙහෙත් මැනීමේ මිම්මක් ; මාත්‍රා දෙක ; බින්දු සොළොස.
2. බර මැනීමේ මිම්මක් ; පලම.
3. පැරණි රන් කාසියක්.
4. විපාකය; ප්‍රතිඵලය ; ලාභය ; ප්‍රයෝජනය.
5. ගෙඩිය ; ඵලය.
6. වහල.
7. මඩ සහිත බුරුල් පස් ඇති බිම ; එරෙන බිම.
8. පලුපත ; හබල ; සුක්කානම.

පල දෙනවා

ක්‍රි. විපාක දෙනවා ; පටිසන් දෙනවා ; දඩුවම් ලැබෙනවා.

පලංගම

නා. රේඛා, රටා ඇතුළු විවිධ සිත්තම්වලින් යුතු ලොකු අර්ධ කවාකාර පිගන් විශේෂයක් ; පලංගාන.

පලංචිය

නා. ගොඩනැගිලි ආදියෙහි උඩ වැඩ කිරීම් සඳහා සාදන තාවකාලික මැස්ස ; ගවහරුව ; අට්ටාලය.

පලක් බඳිනවා

ක්‍රි. දෙපා නමා බැඳ හිඳගන්නවා ; අරමිණියා ගොතා ගොතා හිඳ ගන්නවා.

පලඟ

1. නා. පර්යංකය ; පුටුව ; ආසනය ; අසුන.
2. අරමිණිය ; ඌරුබද්ධාසනය.
3. භටයා ; හේවායා ; සෙබළා.
4. කුරුල්ලා ; පක්ෂියා ; ලිහිණියා.

පලදාව

නා. වගාවකින් ලැබෙන අස්වැන්න.

පලඳනවා

ක්‍රි. ඇඳුම් ආයිත්තම් අබරණ ආදියෙන් සැරසෙනවා.