සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1007

පරිවාහය

(පාරිභාග) නා. චලනය ; සංසරණය ; පැතිරීම.

පරිවෘත

1. වි. පිරිවරන ලද ; වට කර ගත්.
2. (පාරිභා.) වෙළන ලද ; ඇඹරූ.

පරිවෘත්තය

(පාරිභා.) නා. වට වූ දෙය ; වට කරන ලද්ද ; වටේ අඳින ලද වෘත්තය.

පරිවෘත්තිය

1. නා. පරිවර්තනය ; පෙරැළීම ; මාරුවීම ; වෙනස්වීම.
2. (පාරිභා.) ශරීරයෙහි නිරන්තරයෙන් සිදුවන රසයානික හා භෞතික විපර්යාස සමුදාය.
3. කාව්‍යාලංකාරයක්.

පරිවේණ

1. නා.ප්‍ර. විහාරානුබද්ධ ව පැවති හාත්පසින් සීමා වූ භික්ෂු ආශ්‍රමය ; සංඝාරාමය.
2. ඒ ඇසුරෙන් පැන නැඟි පුරාණ ලංකාවේ පැවති අධ්‍යාපනික ආයතන විශේෂය ; පිරිවෙණ.
3. පරිවේණාධිපති ; පිරිවෙනක අධිපති.

පරිවේෂය

නා. ආහාර පානාදිය බෙදීමෙන් සාත්තු සප්පායම් කිරීම.

පරිවේෂ්ටනය

නා. වැලඳ ගැනීම ; වටකර ගැනීම ; පරිසරය.

පරිශ්‍රමය

1. නා. මහන්සිය කෙඩෙත්තුව ; වෙහෙස.
2. උත්සාහය ; වෑයම ; ශ්‍රමය.

පරිශිෂ්ටය

1. නා. ඌනපූරණය ; ග්‍රන්ථවල අඩුපාඩු සම්පූර්ණ කිරීම සඳහා එක් කළ කොටස ; උපග්‍රන්ථය.
2. ඉතිරිය ; ශේෂ වූ කොටස.

පරිශීලනය

නා. ඇසුරු කිරීම; භාවිතය ; හැදෑරීම ; ඉගෙන ගැනීම.

පරිශුද්ධ

වි. අතිශයින් පිරිසුදු ; පවිත්‍ර ; අකලංක.

පරිශෝධනය

නා. පිරිසුදු කිරීම ; ශුද්ධිය ; ප්‍රතිශෝධනය.

පරිශෝෂය

නා. ජලය සිඳී යෑම ; දියර පිට වීම ; වියළීම.

පරිෂදය

නා. එක්රැස් වූ සමූහය ; පිරිස මණ්ඩලය ; සන්නිපාතය.

පරිෂ්කාර

නා.ප්‍ර.බහු. (පැවිද්දන්ට දිය යුතු පාත්‍ර චීවර, ඇඳ, පුටු ගිලන්පස ආදී) පිරිකර ; පරිහරණයට අවශ්‍ය දේ.

පරිසමාප්ත

වි. මුළුමනින් නිමාවට පත් ; නිමවා අවසන් වූ ; සම්පූර්ණ වූ.

පරිසමාප්තිය

නා. නිමවා අවසන් වීම ; සම්පූර්ණ කිරීම; නිමාව.

පරිසර විද්‍යාව

(පාරිභා.) නා. පරිසරය පදනම් කොට සත්ත්ව හා ශාක ජීවය හැදෑරීම.

පරිසරය

(පාරිභා.) නා. 1. පැවැත්මට, වර්ධනයට හා බාහිර ක්‍රියාකාරිත්වයට බලපාන්නා වූ ආභ්‍යන්තරික හා බාහිර සාධකවල සමස්තය.
2. වටපිටාව ආශ්‍රිත ප්‍රදේශය ; පරිවේෂ්ටනය.

පරිසර්පණය

(පාරිභා.) නා. වැඩෙන කඳක තුඩෙහි සිදුවන සර්පිලාකාර භ්‍රමණය.

පරිස්සම

නා. ආරක්ෂාව ; සුරක්ෂිත බව.

පරිහරණය

1. නා. ආරක්ෂාව ; පරිස්සම ; රැකබලා ගැනීම.
2. පාවිච්චිය ; භාවිතය ; පරිභෝගය.
3. පුරුදු කිරීම; පුහුණුව.

පරිහාණිය

නා. දියුණුවෙන් අඩු වීම ; හීන වීම ; පිරිහීම.

පරිහාසය

නා. කවටකම ; විහිළුව.