සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1120

පෙත

1. නා. පන්තිය ; පෙළ ; ප්‍රදේශය.
2. කොටස ; පංගුව ; දිය යුතු කොටස.
3. අඩි පාර ; පාද මාර්ගය.
4. පොද; බින්දුව ; ටික ; ස්වල්පය.
5. දූ පෝරුව ; ලෑල්ල ; තලය ; සටහන.
6. පාත්තිය ; ලියද්ද.

පෙතලි රූපය

1. නා. වඩා නොගැඹුරු, කුඩාවට කපන හෝ සාදන හෝ අඹන රූපය ; රූකඩය.

පෙත්ත

1. නා. (ගස් වැල්වල) කොළය ; පර්ණය ; පත්‍රය.
2. මලක කෙමිය වටා පිහිටි වර්ණවත් දලවලින් එකක් ; මල්පෙත්ත.
3. හිණිමගේ පියගැටය ; සෝපාන ශ්‍රේණිය.
4. පංතිය ; පෙළ.
5. පළල්, තුනී, සමතලා කැබැල්ල ; ඝන වස්තුවකින් වෙන්කර ගනු ලැබූ තුනී කැබැල්ල.
6. සිතුවම් කරන ලද රෙද්ද ; චිත්‍ර වස්ත්‍රය.
7. ඖෂධ රසායන සාර අඩංගු කොට තනන ලද පැතලි කුඩා පිණ්ඩය ; (බෙහෙත්) පෙත්ත.
8. මිටියේ අග කොන ; මිටියේ තලය.

පෙත්තප්පු

(කථා.) නා.ප්‍ර. ගිරවා ; පෙත්තා.

පෙත්තික

නා.ප්‍ර. පියාගෙන් ලද දේපොළ.

පෙත්මග(ඟ)

නා.ප්‍ර. පයින් ගමන් කරන මඟ ; පාද මාර්ගය.

පෙත්සම

නා. යම්කිසි අවශ්‍යතාවකට පිළිසරණ පතා බලධරයකු වෙත ඉදිරිපත් කරනු ලබන ලේඛනය ; ලිඛිත ආයාචනය.

පෙති උළු

නා.ප්‍ර. සමතලාවට පතුරක් ලෙසින් සාදන උළු කැටය.

පෙති ගසනවා

ක්‍රි. කෑලිවලට කපනවා ; තුනී වන්නට කඩ කඩ කොට කපනවා.

පෙති පිළිම

නා.ප්‍ර. රෙදි ආදියෙහි අඳින ලද බුද්ධ රූප.

පෙති මාලය

නා. පෙති සමූහයකින් යුක්ත ව සාදන ලදුව උඩරට සම්ප්‍රදායට අයත් ව පවතින මාල විශේෂයක්.

පෙතිකඩ

නා. චිත්‍ර ඇඳීමට ගනු ලබන රෙද්ද ; බුදු රූ ආදි පිළිම අඳින ලද වස්ත්‍රය.

පෙතිගෝමර

නා.ප්‍ර. තරුණියන්ගේ උඩුකයේ සම මතුපිට (සමහර විට) ඇති වන්නා වූ ද, රූපාලංකාරයක් සේ සැලකෙන්නා වූ ද, සුදු පැහැයට හුරු කුඩා ලප (තිත්) විශේෂයක්.

පෙද

1. නා.ප්‍ර. පය ; පාදය ; පියවර.
2. කාව්‍යය ; කවිය ; පැදිය.
3. සොළොස් මත් පාදවලින් යුක්ත කාව්‍ය විරිතක්.
4. රොද ; පෙළ ; පඞ්ක්තිය.
5. කනෙහි පලඳින ආභරණය ; කුණ්ඩලාභරණය.
6. පන්දුව ; බෝලය.
7. ස්වල්පය ; ටික.

පෙදරේරුවා

නා. ගල්, ගඩොල් හා බදාම ආදිය උපයෝගී කරගෙන ගොඩනැගිලි බැඳීම ආදිය කරන තැනැත්තා ; මේසන් ; මේසන් බාස්.

පෙදවට

නා.ප්‍ර. පන්දුව ; බෝලය.

පෙදැඟිල්ලා

නා. (සත්ව.) කරදියෙහි වෙසෙන ක්‍රිනොයිඩ් සත්වයෙක්.

පෙදෙස

1. නා. ප්‍රදේශය ; රටක, දිසාවක, ගමක සීමිත කොට්ඨාසය ; පළාත.
2. ශරීරයෙහි යම්කිසි කොටසක්.

පෙන්ට අයඩයිඩ්

(පාරිභා.) නා.ප්‍ර. (රසා.) පස්වැදෑරුම් හයිඩ්රියොසික් අම්ල ලවණය.

පෙන්ටක්‍රීනසයා

(පාරිභා.) නා. පස් ආකාරයකට බෙදුණු රශ්මි රේඛා සහිත තාරකාවක් වැනි මනඃකල්පිත ජීවියෙක්.

පෙන්ටක්‍රීනොයිඩ් කීටයා

(පාරිභා.) නා. (සත්ව.) පෙන්ටක්‍රීනසයකු වැනි ඇතැම් ක්‍රිනොයිඩෙයානු කීටයෙක්.

පෙන්ටේන් පහන

(පාරිභා.) නා. පෙන්ටේන් වාෂ්පයෙන් දැල්වෙන පහනක්.

පෙන්ඩන්

නා.ප්‍ර. සාපේක්ෂිත ලොකු ප්‍රමාණයේ මැණිකක් හෝ කැටයමක් හරි මැදින් පවතින ගෙල මාලයක් ; පැන්ඩනය.

පෙන්තකොස්ත

නා.ප්‍ර. (ක්‍රිස්ති.) (පනහ යන අර්ථයි) ක්‍රිස්තුන් වහන්සේගේ මරණයෙන් පනස් වන දින පවත්වන අනුස්මරණ උත්සවය.