සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1143

බද්ද

1. නා. දේපළ ආදායම ආදියෙන් රාජ්‍යයකට ගෙවනු ලබන කොටස ; සුංගම.
2. (මහනුවර රාජ්‍ය සමයෙහි) රජය යටතේ පැවති කාර්මික දෙපාර්තමේන්තුව ; කර්මාන්ත කාර්යාංශය.
3. ඉඩකඩම් ගෙවල් දොරවල් ආදියේ භුක්තිය නිත්‍යානුකූල ලෙස යම් කාලසීමාවකට පවරා දීම.

බද්ධ

වි. හා වුණු ; යා වුණු ; එකට බැඳුණු ; හවුල්.

බද්ධ පර්යඞ්කය

නා. වම් කලව මත දකුණු පතුලත් දකුණු කලව මත වම් පතුලත් සිටින සේ දෙපා බැඳ හිඳීම ; පලක් බැඳ හිඳීම ; අරමිණිය ගොතා හිඳ ගැනීම ; ඌරු බද්ධාසනය.

බද්ධ රාවය

නා. උගුලකට හසු වූ බව හැඟවීමට කරන නාදය ; මලපුඩුවක බැඳුණු බව හඟවන හඬ.

බද්ධ වාසය

නා. එක තැන නොකඩවා විසීම ; නිබඳ වාසය.

බද්ධ වෛරය

නා. දිගින් දිගට පවත්වාගෙන යනු ලබන ක්‍රෝධය ; තදින් බැඳුණු වෛරය.

බද්ධකෝණය

නා. එක් රේඛාවක දෙපැත්තෙහි සිටින පරිදි එක ළඟ පිහිටි කෝණය.

බද්ධය

1. නා. උකුගතිය : බෙලසුල් බව ; සෙවෙල සහිත බව.
2. හිර වීම ; ඇහිරීම ; බැඳීම ; තද වීම.
3. බද්ධ කළ පැළය හෝ රිකිල්ල.

බද්ධාභිලාෂය

නා. බැඳුණු තද ආශාව ; අධික කැමැත්ත.

බදාමය

1. නා. සිමෙන්ති, හුණු, වැලි ආදිය වතුරෙන් ඇනීමෙන් තනාගනු ලබන මිශ්‍රණය ; ගොඩනැගිලි තැනීමේ දී ගල්වරි දෙකක් සම්බන්ධ කිරීමට යොදාගනු ලබන මිශ්‍රණය.
2. ඇලවීම සඳහා ගනු ලබන ද්‍රව්‍යය ; ලාටු ; පාප්ප.
3. කොළ ධාන්‍ය ආදිය අඹරා උකුවට තනා ගත් කල්කය ; තලපය.
4. දතේ පිටතින් ඇති තද වැස්ම ; ඉනැමලය.

බදැඳිලි

නා.ප්‍ර. වැඳීම දැක්වීම වශයෙන් එක් කරන ලද ඇඟිලි ; දෝත එක් කිරීම ; බද්ධාඤ්ජලිය.

බදිනවා

1. ක්‍රි. කබලෙහි දමා ගිනි රස්නයෙන් කර කරනවා ; පුලුටු කරනවා.
2. (කෑම වර්ග ආදිය) උණු තෙලෙහි ලා කර කරනවා.

බදු අයකැමියා

නා. වැසියන් විසින් රජයට ගෙවනු ලැබිය යුතු බදු මුදල් අය කිරීම භාර නිලධාරියා.

බදු සහනය

නා. (කිසියම් ව්‍යාපාර ආදියකට අනුබල දීම සඳහා) රජයට අයවිය යුතු බදු අඩුවෙන් අය කිරීමෙන් හෝ කලකට අය නොකිරීමෙන් හෝ සලසන පහසුකම.

බදුකරය

නා. බදු ඔප්පුව.

බදුගත් මාර්ගය

නා. පරිගණක දෙකක් සම්බන්ධ කරන ස්ථිර සන්නිවේදන මාර්ගය ; දුරකථන මාර්ගය.

බදුන

1. නා. බඳුන ; භාජනය ; තලිය.
2. ගිනි උදුන; පෝරණුව.

බදුරු

වි. භද්‍ර ; හොඳ ; යහපත් ; ශ්‍රේෂ්ඨ ; උත්තම ; විශිෂ්ට ; වැඩදායක ; සොඳුරු.

බදුරුකප

නා. භද්‍ර කල්පය ; බුදුවරයන් පස් නමක් උපදනා කල්පය.

බධිර

වි. කන් නෑසෙන ; ඇසීමේ ශක්තිය නැති ; බිහිරි.

බධිරයා

නා. කන් ඇසීම නැති පුද්ගලයා ; බිහිරා.

බන්

වි. බඳින ලද ; බැන්දා වූ ; ගැට ගැසූ.
නා.ප්‍ර. බැම්ම ; බැඳීම ; බන්ධනය.

බන්කරය

1. නා. සටන් බිමේ දී සතුරු ප්‍රහාරවලින් ආරක්ෂා වීම සඳහා තනනු ලබන ශක්තිමත් ආවරණ කුටිය.
2. නැව්වලට තෙල් සපයන විශාල තෙල් ටැංකිය.

බන්ගසාලය

නා. රාජකීය ගබඩා ගෙය ; කොටගුළුව.