සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1144

බන්ද

1. නා.ප්‍ර. ලියවන පට්ටලයේ ලියවනු ලබන භාණ්ඩය සවිකරනු ලබන වට දඬු කඳ.
2. වළලු, කැතිවිලි ආදිය පෑස්සීමේ දී රඳවනු ලබන පොල්ල.
3. කිණිහිරයෙහි උල් කෙළවර.
4. වළං, කළ ආදියෙහි බඳ.
5. පොරෝ උදලු ආදියේ මිට සවි කරන සිදුරේ පිට පැත්ත.
6. බඳින ලද්ද ; බැඳුම.
7. (යමක්) වැනි දෙය ; බඳු වූව ; සමාන වස්තුව ; සදෘශ වූව.

බන්දුකමල

නා.ප්‍ර. නෙළුම් මලේ නෑයා ; සූර්යයා ; කමලබන්දු ; පද්මබන්දු.

බන්දේසිය

නා. අමුත්තන්ට සංග්‍රහ කිරීමේ දී රසකැවිලි, බීම ආදිය ඔවුන් වෙත ඉදිරිපත් කිරීම සඳහා භාවිත තැටිය.

බන්ධක

1. වි. බැඳුණු ; සම්බන්ධ කළ ; ඈඳුණු.
2. (නීති.) ගිවිසුමකින් හෝ බැඳුම්කරයකින් බැඳුණු ; ඇප වුණු.

බන්ධකය

1. නා. බැඳීම සිදුකරන අවයවය ; සම්බන්ධනය.
2. ඇපය ; ලිඛිත පොරොන්දුව ; ඇපකරය.
3. වෙළුම්පට.

බන්ධකයා

1. නා. බඳින්නා ; බැඳ තබන්නා ; සම්බන්ධ කරන්නා.
2. (උගුල්, දැල්, මදු ආදිය මඟින්) සතුන් අල්ලන්නා.
3. ඇපකරුවා ; ගිවිසුමකින් හෝ බැඳුම්කරයකින් බැඳුණු තැනැත්තා.
4. ප්‍රබන්ධකරුවා ; ගත්කතුවරයා.

බන්ධන ශාස්ත්‍රය

නා. යකුන් දෙවියන් ඇතුළු භූතයන් බැඳ ගැනීමේ ශාස්ත්‍රය.

බන්ධනය

1. නා. බැඳීම ; බැම්ම ; සම්බන්ධය ; ගැටගැසීම.
2. සිරගත වීම ; දඟගෙයි වැටීම ; උගුල්, මදු ආදියට අසුවීම.
3. භාජන ආදියේ කැඩුණු බිඳුණු තැන් පිරියම් කළ ස්ථානය.
4. ගද්‍ය පද්‍ය ප්‍රබන්ධය ; (විශේෂයෙන්) පද්‍යකෘතිය.
5. මන්ත්‍ර බලයෙන් භූතයන් තම මෙහෙවර කිරීම සඳහා නතුකර ගැනීම.
6. වෙළුම්පට ; රැහැන ; පටිය.
7. දැඩි මානසික බැඳීම ; තද ඇල්ම.
8. සිත් මුළා කරවන මායම් ආදිය.

බන්ධනාගාරය

නා. නීති විරෝධී කටයුතු සම්බන්ධ සැකකරුවන් නඩු විභාග අවසාන වනතුරු හෝ අධිකරණයෙන් දඬුවම් නියම වූවන් දඬුවම් කාලය අවසාන වනතුරු රඳවා තබන ස්ථානය ; සිපිරි ගෙය ; හිර ගෙදර.

බන්ධු

1. නා.ප්‍ර. නෑයා ; ඥාතියා; බන්ධුවරයා.
2. ජන්ම පත්‍රයක සතරවැනි භාවය ; බන්ධු ස්ථානය.
3. මලක නම; බඳුවද.

බන්ධුර

1. වි. ළගන්නා සුලු ; මනෝ-ප්‍රසන්න.
2. අසම ; සමතල නොවූ.
3. නැමුණු ; වකුටු ; වක්‍ර.
4. බිහිරි ; බධිර.

බන්ධුරය

1. නා. ඔටුන්න ; කිරුළ; කිරීටය.
2. පුන්නක්කු.
3. කොකා.
4. පාත්තයා.

බන්ධුවර්ගයා

නා. නෑයන් බවට පත් පිරිස ; ඥාති සමූහයා ; ඥාති වර්ගයා.

බන්සන් දාහකය

නා. විද්‍යාගාරවල බෙහෙවින් භාවිත වන ගෑස් දාහක විශේෂයක් , බන්සන් උදුන; බන්සන් ලාම්පුව.

බඳ

1. වි. බඳින ලද ; ගැට ගැසූ ; එල්ලූ ; බද්ධ වූ.
2. අනුන් සතු වූ; අන්හට අයත් වූ
3. තනන ලද ; ගොඩ නගන ලද ; ඉදි කරන ලද.
4. පටන් ගත් ; ආරම්භ කළ , ඇරැඹූ.
5. සිතින් බැඳී ගිය ; පිළිබඳ සිතින් යුත්
6. ළංව පිහිටි; යාබද ; එකට එක කිට්ටු වූ.
7. රචනා කළ , ප්‍රබන්ධ කැරුණු.
8, ස්ථිර ; තිර ; ස්ථාවර.
1. නා.ප්‍ර. යහළුවා ; මිතුරා ; හිතවතා.
2. සිරුර ; ශරීරය. -ගත ; දේහය.
3. හිස සහ අත් පා නැති ශරීර කොටස ; කඳ.
4. උපකරණයක භාණ්ඩයක මැද මහත කොටස.
5. උදලු පොරෝ ආදියෙහි මිට සවි කරන සිදුර.
නි. සමානත්වය දැක්වීම සඳහා යෙදෙන නිපාත පදයක් ; බඳු ; වැනි ; සැටි.

බඳ පටිය

1. නා. අඳින ඇඳුම ලිහිල් වීම වළක්වනු සඳහා ඉණෙහි බඳින පටිය ; ඉණ පටිය.
2. බර ගෙන යන සතුන්ගේ සෑදලය හෝ තවලම රඳවා තබා ගැනීම සඳහා බඩ යටින් ගෙන බඳින පටිය.

බඳ වෙළුව

1. නා. කුස තණ ආදිය මිටි බැඳ ඉඳ ගැනීම සඳහා සාදාගනු ලැබූ සැප පහසු ආසනයක්.
2. සිරුරේ ඉණ පෙදෙස වෙළීම සඳහා ගන්නා පුළුල් රෙදි පට.

බඳදිලි

නා.ප්‍ර. වැඳීම සඳහා හිස් මුදුනෙහි තබාගත් දෝත.

බඳන

නා. මැටි, ලෝහ ආදී ද්‍රව්‍යයකින් යම් යම් දෑ බහාලීම සඳහා තනාගනු ලබන මෙවලම; භාජනය ; බඳුන.
වි. බඳින්නා වූ ; බැඳ තබන ගැටගසන්නා වූ ; බන්ධනයක් කරන්නා වූ.

බඳිනවා

1. ක්‍රි. ලණු, වැල් ආදියකින් වෙළා එකට සම්බන්ධ කරනවා ; ඈඳනවා ; ගැට ගසනවා.
2. තනනවා ; ගොඩනංවනවා ; ඉදිකරනවා ; නිර්මාණය කරනවා.
3. අවහිර කරනවා ; වළක්වනවා ; අවුරනවා.
4. රචනය කරනවා ; ප්‍රබන්ධ කරනවා.
5. විවාහයෙන් සම්බන්ධ වනවා.
6. සිත් ඇදගන්නවා ; සිත නතු කරනවා ; වසී කරනවා.
7. පක්ෂ වූ හෝ විපක්ෂ වූ හෝ හැඟීමක් සිතෙහි වර්ධනය කරගන්නවා.
8. නීතියෙන් අවශ්‍ය වූ මුදල් ප්‍රමාණයක් හෝ ලිපි ලේඛන ආදියත් නියමිත ස්ථානයට ඉදිරිපත් කරනවා.
9. නියමයක් පනවනවා.
10. ආභරණවල මැණික් ගල් ඔබ්බනවා.
11. ගව ආදී සතුන් දිගේලි කරනවා.

බඳු

නි. සමාන ; වැනි ; මෙන්; අයුරු.

බඳුන

[නා.) යමක් බහාලීම සඳහා ලෝහ මැටි ආදියෙන් තනන ලද මෙවලම; භාජනය

බප

1. නා. පියා ; තාත්තා.
2. සැමියා; හිමියා ; ස්වාමියා.
3. මිනිසා ; පිරිමියා ; පුරුෂයා.
4. උගතා ; විද්වතා ; පඬිවරයා ; ශාස්ත්‍රධරයා.
5. කඳුළු ; ඇසිදිය ; අශ්‍රැ.

බබලතා

1. නා. ගැහැණිය ; ස්ත්‍රිය ; කාන්තාව.
2. බිරින්දෑ ; භාර්යාව ; බිරිය.