සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1158

බැලේ

නා.ප්‍ර. සංගීතයෙන් හා ඉඟියෙන් අදහස් ප්‍රකාශ කරන නාට්‍ය විශේෂය ; ඉඟිනළුව ; මුද්‍රා නාට්‍යය.

බැව

1. නා.ප්‍ර. බැව් භාවය ; බව.
2. භවය ; සත්වයකු චුත වීමෙන් යළි උපත සිදුවන්නා වූ ස්ථාන වන කාම, රූප, අරූප යන භව තුනෙන් එකක්.
3. තත්ත්වය ; හේතුව ; කාරණය.

බැවහර

වි. ව්‍යවහාරයෙහි පවත්නා ; භාවිත වන.
නා.ප්‍ර. ව්‍යවහාරය ; සම්මතය ; භාවිතය.

බැවහර කරනවා

ක්‍රි. ව්‍යවහාර කරනවා ; භාවිත කරනවා.

බැවහර නීතිය

නා. ලිඛිත නීතියට ඇතුළත් නොවන නමුදු, චාරිත්‍ර-වාරිත්‍රවලට, සම්ප්‍රදායට අනුව පිළිපැද අධිකරණය මඟින් පිළිගනු ලබන නීතිය.

බැවහර නුවණ

නා. ප්‍රායෝගික ඥානය ; තන්වැසි නුවණ.

බැවින්

ක්‍රි.වි. නිසා ; කරණකොට ගෙන ; හේතුකොටගෙන ; හේතුවෙන්.

බැවුම්

1. නා.ප්‍ර. භාවනාව.
2. කටමැත දෙඩීම ; පුරසාරම.

බැවුල

නා. වනයෙන් යුත් උස්බිම් කොටස ; ගොඩැල්ල.

බැසිලය

(පාරිභා.) නා. රෝග උත්පාදක ක්‍ෂුද්‍රජීව විශේෂයක් ; දණ්ඩාණුව ; මෙය දණ්ඩක හැඩය ඇති බැක්ටීරියා වර්ගයක් සේ සැලකේ.

බැහැ

1. නා.ප්‍ර. සහෝදරයා ; සොහොවුරා.
2. පිටත ; බැහැර.
නි. නොහැකි යි ; නුපුළුවනි.

බැහැ දකිනවා

ක්‍රි. ප්‍රභූන් ඉදිරියේ යටත් පහත් ව පෙනී සිටිනවා ; ගරු-සැලකිලි සහිත ව උතුමන් ඉදිරිපිටට යනවා.

බැහැනා

1. නා. දුවගේ සැමියා.
2. (පිරිමියකුට නම්) සෝවුරියගේ පුත්‍රයා ; (ස්ත්‍රියකට නම්) සොවුරාගේ පුත්‍රයා.

බැහැර

වි. පිටත වූ ; පිටස්තර ; පරිබාහිර වූ.

බැහැරි

වි. බාහිර ; පිටස්තර ; අභ්‍යන්තර නොවූ.
නා.ප්‍ර. පිට ; පිටස්තරය.

බැහැරියා

නා. පිටස්තරයා ; අමුත්තා.

බැහැවුම්

1. නා.ප්‍ර. බැස ගැනීම ; ඇබ්බැහිකම ; පුරුද්ද.
2. අත හිස ආදිය පහත් කිරීම්.
3. රැවැටිලි බස් ; කපටිවදන් ; කෛරාටික වචන.
වි. තරගකාරි ; දර්පයෙන් යුක්ත ; ආඩම්බර.

බැහැවෙනවා

1. ක්‍රි. පුරුදු වෙනවා ; භාවිත වෙනවා ; බැස ගන්නවා ; කැපවෙනවා ; යෙදෙනවා.
2. දර්පිත වෙනවා ; උඩඟුවෙනවා ; ඉහළින් සිතා ගන්නවා ; බැබළෙනවා.
3. බාහිරවෙනවා ; පිටවනවා ; ඈත්වෙනවා.
4. වැටෙනවා ; යෙදෙනවා.

බෑඟිරි ගහනවා

(කථා.) ක්‍රි. යටි ගිරියෙන් කෑගසනවා ; උස් හඬින් කෑගසනවා.

බෑන්ඩ්

1. නා.ප්‍ර. බටහිර තූර්ය වාදක කණ්ඩායම.
2. පටිය ; වාටිය.

බෑය

නා. භාගය ; අර්ධය ; අඩ ; පළුව ; දෙකෙන් පංගුව.

බෑවුම

1. නා. ඉහළ සිට ක්‍රමයෙන් පහත් ව යන බිම ; ප්‍රපාතය ; පල්ලම.
2. ඇලවන හැඩය ; නැමී යෑම ; නම්නතාව.
3. උදාරබව ; තේජස්වී ගතිය ; එඩිය ; බැහැවුම.
4. උඩඟුකම ආඩම්බර ගතිය.

බිං නඟනවා

ක්‍රි. පුරන් කොටනවා ; වගා කිරීම සඳහා බිම සකස් කරනවා.

බිංගෙය

1. නා. පොළොව යට තැනූ ගුහාව.
2. උමඟ.

බිංදු මාත්‍රය

නා. ඉතා කුඩා ප්‍රමාණය ; අති ස්වල්පය.