සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1190

මගුල් මුදුව

නා. ආවාහ විවාහ ගිවිස ගැනීම අරමුණු කර මණාලයා හා මණාලිය විසින් හුවමාරු කරගනු ලබන මුද්ද.

මගුල් රථය

නා. රාජකීය රථය ; රජුගේ වාහනය.

මගුල් ලකුණු

නා.බහු. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහයේ වූ (අති විශේෂ) මඞ්ගල ලක්ෂණ.

මගුල් සක්වළ

නා. බුදුවරුන්ගේ පහළවීම වැනි යහපත් දේ සිදුවන චක්‍රවාටය ; කාම ලෝකය.

මගුල් සලවට

නා. රජු හිඳිනා ගල් තලාව ; මංගල සම්මත වූ ශෛල වෘත්තය ; උතුම් වූ ගල්වටය.

මගුල් හීය

නා. හා හා පුරා කරන සී සෑමේ උත්සවය ; පළමු සී සෑමේ උත්සවය.

මගුලැතා

නා. මංගල හස්තියා ; රජුගේ ඇතා.

මඞ්කු

වි. ලජ්ජාවට පත් ; හැකුළුණු මුහුණු ඇති ; දුර්මුඛ.

මඞ්ගල

1. වි. ශුභ ; ඉතා යහපත් ; උතුම්.
2. විවාහ උත්සව සම්බන්ධයෙන් වූ ; මගුල් කටයුතු සම්බන්ධ.
3. පළමු ; ප්‍රථම ; පූර්ව.

මඞ්ගල දිනය

1. නා. මංගල නම් ග්‍රහයාගේ දිනය ; කුජ දිනය.
2. (නව.) මංගල උත්සව පවත්නා දිනය.

මජර

(කථා.) වි. 1. කෑමට ගිජු ; කෑදර.
2. කම්මැලි ; අලස.

මජ්ජ

1. නා.ප්‍ර. ගෙඩි ආදියේ මැද කොටස ; මදය.
2. මත්පැන්.

මජ්ජා කිරණය

නා. (උද්භි.) කඳක හෝ මුලක හෝ හරස් කඩක අරීය ඉරි වසයෙන් ද දික් කඩක සෛල තහඩු වසයෙන් ද පෙනෙන මෘදුස්තර සෛල.

මජ්ජා කූටය

නා. මැද මොළය ; මධ්‍ය මස්තිෂ්කය.

මජ්ජාව

1. නා. (ප්‍ර. යෙදේ) අස්ථි කුහරවල තිබෙන මොළොක් වූ මේද සහිත ද්‍රව්‍යය ; ඇටමිදුලු.
2. ශාකයක බඩය ; සනාල පටකයෙන් වට වී අක්ෂයක් මැද්දෙහි පිහිටා තිබෙන සෛල සිලින්ඩරය.
3. විශාල දිලීර අවයවයක තිබෙන බුරුල් දිලීර සූත්‍රිකාවලින් සමන්විත කොටස.
4. (පාරිභා.) අවයවයක හෝ පටකයක මැද කොටස.

මජ්ඣිම

වි. මැද ; මධ්‍යම.

මජ්ඣිම පටිපදාව

නා. ඒකාන්තයෙන් හේතු වන ප්‍රතිපත්තිය ; නිවනට පමුණුවන සෘජු මාර්ගය.

මඤ්චකය

නා. මඤ්චය ; ඇඳ ; යහන ; ශයනය.

මඤ්චපරායන

වි. ඇඳෙන් නැගිටිය නොහැකි ; ඇඳ ම පිහිට කොට ඇති.

මඤ්චාඩිය

නා. බර මැනීමේ මිම්මක් ; මදටිය ඇටයක බර ප්‍රමාණය ; කළඳකින් විස්සෙන් පංගුව.

මඤ්ජරි

1. නා.ප්‍ර. (මල්) පොකුර ; සමූහය.
2. (පාරිභා.) සපුෂ්ප ශාකයක කඳෙහි මල් හටගන්නා කොටස.
3. ඖෂධීය ශාකයක්.
4. සිංහ වර්ගයක්.

මඤ්ජුෂාව

නා. ලී වැල් ආදියෙන් සෑදු පෙට්ටිය.

මඤ්ඤනාව

නා. හැඟීම ; සිතීම ; වැරදි හැඟීම.